මෝහිනී
වෙනුර කියන්නෙ දුප්පත් පවුලක එකම පිරිමි ලමය එයාගෙ තාත්තා වැඩ කෙරුවේ රජයේ මුද්‍රණාලයේ වෙනුරගේ තාත්තට රස්සාව ලැබෙනවාත් එක්කම ගමේ ඉඩ කඩම් විකුණල ඇවිත් නගරයට පදිංචියට ආවා ගමේ ඉඩම් වික්ක කියල මහ ලොකු සල්ලියක් එයාලට හම්බවුනේ නෑ .
ඉඩම් විකුණල ගත්ත සල්ලි වලින් යාන්තන් නගරේ ගෙයක් කුලියට ගන්න හම්බවුනා එච්චර තමා ඒ සල්ලිවලට කරන්න පුලුවන් උනේ මොකද වෙනුරල හිටියේ හද්දා පිටිසර ඒ පැතිවල ඉඩම්වල වටිනාකමක් තිබ්බෙ නෑ උසස්පෙළ විභාගය සමත් වෙන්න නොහැකි වුන වෙනුරට තාත්ත කිව්වෙ එයා විශ්‍රාම යනකොට තාත්තගෙ රස්සාව අරන් දෙන්න පුලුවන් ඒ නිසා අවුරුදු විස්සක් විතර වෙනකන් ඔය ගෙදරට වෙලා නිදහසේ හිටියට කමක් නෑ කියලා ඉතින් වෙනුරත් නිදහසේ හිටිය කිසිම දෙයක බරක් පතලක් තිබුනේ නෑ වයස අවුරුදු දහනවයක් වුන වෙනුරගේ දින චරියාව උනේ උදේ පාන්දර ක්‍රිකට් සෙල්ලම් කරන්න ගියාම එයාගෙ යාලුවොත් එක්ක හවස් වෙනකන් සෙල්ලම් කරන එක තමා .
වෙනුරගේ යාලුවෝ නම් යමක් කමක් තිබුණ අය ඒක නිසා උදේ ඉඳන් සෙල්ලම් කෙරුව කියලා එයාලට ප්‍රශ්නයක් වුනේ නෑ ඒත් දුප්පතෙක් උන වෙනුරට මුදල් කියන දේ වටිනාකම නොතේරුණ නිසා ඔහුත් ඒ යාලුවෝ සමගම රස්තියාදු සෙල්ලම් ජීවිතයක් ගත කෙරුවා ඒත් දවසක් ආවා වෙනුරට සල්ලිවල තියෙන වටිනාකම දැනෙන සල්ලි නැති කම නිසා අසරණ වෙන්න සිදු වෙන ඒක වෙනුරගේ ජීවිතයට ආවේ හෙමින් හෙමින් වෙනුර ගේ අම්ම මාස ගාණක ඉඳන් දුර්වල වෙන්න ගත්තා දවසක් එයාගෙ අම්මට වැඩක් පලක් කර ගන්න බැරි තැනට එනකම් දුර්වල උනා.
රෝහලකට යාම කල් ඇර ඇර ගෙදර වැඩ අපහසුවෙන් කරමින් සිටි වෙනුරගේ අම්මට තව දුරටත් වැඩ කිරීමේ ශක්තිය නැති වුනා වෙනුරයි තාත්තයි එකතු වෙලා අම්මව රෝහලකට රැගෙන ගියා සෑහෙන්න වෙලා අම්මව පරික්ෂා කරපු ප්‍රධාන වෛද්‍යවරය වෙනුරගේ මවට නොඇසෙන ලෙස වෙනුරට සහ ඔහුගෙ තාත්තට පැවසුවේ මහ භයානක කතාවක්.
වෙනුරගේ මවගේ හදවතේ ඇති වී තියෙන යම් ප්‍රශ්නයක් හේතුවෙන් ඇයට මෙවන් තත්වයක් ඇති වී තිබෙන බවත් තවත් මාසයක් ඇතූලත සැත්කමකට භාජනය නොකලහොත් වෙනුර ගේ මවට මිය යාමට සිදුවන බවට වූ ශෝකජනක භයානක පුවතයි.
" එතකොට දොස්තර මහත්තයෝ මේ ඉස්පිරිතාලෙන් ඒක කරන්න පුලුවන්ද ?"
වෙනුරගේ තාත්තා වෛද්‍යවරයා ගෙන් එහෙම ඇහුවා.
" නෑ මෙහෙන් කරන්න බෑ මම දෙන්නම් පෞද්ගලික රෝහලක හදවත් පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙක්ගේ පෝන් නම්බරයක් එයාව චැනල් කරල පුලුවන් තරම් ඉක්මණට මේ සැත්කම කරගන්න බලන්න "
වෛද්‍යවරයා එහෙම කිව්වා
" එතකොට ඩොක්ටර් මේ ඔපරේෂන් එකට කීයක් විතර යයිද "
වෙනුර ඇහුවා .
" මම හිතන්නේ ලක්ෂ විස්සක් විතර යයි ආසන්නව මම දැනට බෙහෙත් ටිකක් ලියල දෙන්නම් ඒක දෙන්න දැනට සහනයක් ලැබෙයි කොහොම හරි සැත්කම කරන්න "
කොහොම හරි වෙනුරගේ අම්මව ටික දවසක් රෝහලේ නතර කරල නැවත ගෙදරට එක්ක ආව ඒ වෙනකොට ලබා දුන් බෙහෙත් නිසා වෙනුරගේ අම්ම මදක් සුවපත් වෙලා හිටියේ ඒත් වෙනුරගේ අම්ම පත් වෙලා හිටිය භයානක තත්වය ඒ ආකාරයෙන්ම පැවතුනා නිවසට එක්ක ආවත් වෙනුරවත් තාත්තවත් කිව්වෙ නෑ අම්මට අම්ම පත් වෙලා ඉන්න භයානක තත්වය ගැන.
වෙනුරගේ තාත්තා එයා දන්න හැම කෙනාගෙන්ම ලක්ෂ විස්සක මුදල ඉල්ලල බැලුවත් කිසිම කෙනෙක් ඒ වගේ ලොකු මුදලක් දුන්නෙ නෑ පොලියට සල්ලි දෙන තැනකින් යාන්තන් එක රුපියල් ලක්ෂයක මුදලක් හොයා ගන්න ඔහු සමත් වුනත් ඒ අධික පොලියකට.
වෙනුර තමන්ගේ සියලුම යාලුවන්ගෙන් මුදල් ඉල්ලුවා ඒ යාලුවන්ට රුපියල් ලක්ෂයක් කියන්නෙ ලොකු දෙයක් නෙමේ මිතුරන් විසි දෙනෙක් ඔහුට උදව් කලොත් රුපියල් ලක්ෂ විස්සක් කියන්නේ ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් ගාණක් බව වෙනුර ඔවුන්ට කියා සිටියා නමුත් වෙනුර ගේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් ඔහුගේ එකම මිතුරෙක් වත් ඔහුට ශත පහක මුදලක් ලබා දුන්නේ නෑ .
වෙනුර මිතුරන් ගේ කකුල් පා මුල වැඳ වැටිලා අඩාවැලපිලා ඔහුට අම්මව බේරගන්න උදව් කරන්න කිව්වා ඒත් වෙනුරට හිටියේ දුකේදි අත ඇරල යන ජාතියේ අධම මිතුරන් පිරිසක් බව ඔහුට එදා තේරුනා නිකන් එක එකා එක්ක කාලය කා දමමින් ගත කරපු රස්තියාදු ජීවිතේ මොන තරම් නම් කාලකණ්නි කමක්ද කියලා වෙනුරට තේරුණා ඔහු ඔහුගේ මිතුරන්ට බැන වැදුනා මිතුරන්ට බැගෑපත් වුනා මෙලෙස නොකරණ ලෙස ඒ සියල්ල අසා සිටි මිතුරු පිරිසේ සිටි එක් අයෙක් අවඥ්ඥා සහගත සිනාවක් පාමින් මෙහෙම කිව්වා.
" ඇයි උඹ අපිට කිව්වේ උඹ හිටිය ගමේ කැලේ ඉන්නව කියලා මෝහිනී කියලා යක්ෂ අප්සරාවක් ඒකි ලග රත්තරන් නිදානයක් තියෙනව කියලත් කිව්වේ ඒ ඔක්කොම බොරුද ඇයි උඹ ගිහින් ඒ ගෑණි ගෙන් ඒ නිධානෙ ගන් නැත්තේ එක එකාට පිනට දෙන්න අපේ තාත්තලා සල්ලි හොයලා නෑ
වරෙල්ලා බන් යන්න.."
එහෙම කියලා මිතුරු පිරිස වෙනුරව තනිකරලා යන්න ගියා වෙනුර කඳුලු සලමින් කල්පනා කරන්න පටන් ගත්තා ඒ ඔහුගේ මිතුරා පැවසූ කතාව ගැන .
වෙනුර හිටිය ගම කෙලවරේ තිබුණ මහා ඝන වනාන්තරයක් ඒ ගමේ වැඩිහිටියෝ කියන විදිහට ඒ කැලේ මැද මොහිනී කියලා සුරූපි යක්ෂනියක් ඉන්නවලු ඒ යක්ෂනී ලග මහ විශාල නිධානයක් තියෙනවලු ඒක ගන්න කියල ගමෙන් කැලේට ගිය කිසිම කෙනෙක් ආපහු ආවෙ නැතිලු ඉතින් අවසානේ වෙනුර තීරණය කරනවා ඒ නිධානේ අරන් අම්මව බේරගන්නව කියලා ඒ කතාව මිත්‍යාවක් කියලා ගමේ සමහරු කිව්වත් වෙනුරට වෙන විකල්පයක් තිබුණේ නෑ .
හවස වෙනුර ගෙදර යනකොට තාත්තා හැම දෙයක්ම අම්මට කියලා තිබුණා අම්මට ඒ ගැන ගාණක් තිබුණේ නෑ තාත්තා නම් ඇස්වල කදුලු පුරෝගෙන අම්ම දිහා බලන් හිටියා අම්ම වෙනුරට තමන් ලගට එන ලෙස පැවසුවා වෙනුරට ඉකි ගැහි ගැහී ඇඩුනා.
" අඩන්න එපා පුතේ අපි හැමෝටම දවසක මැරෙන්න වෙනවා වෙනසකට තියෙන්නේ ඒක මට කලින් ඇවිල්ලා ඔයා තාත්තවත් බලාගෙන පරිස්සමට ඉන්ඩ ඕනේ මට පොරොන්දු වෙන්න නරක කිසිම දෙයක් ඔයා කරන් නෑ කියලා කවදාවත් තාත්තව තනි කරන්න එපා.."
වෙනුරගේ අම්ම කතාකෙරුවේ හරියට එයාගේ අවසාන දිනේ අද වගේ වෙනුර එයා ගේ තාත්තා අම්මව තුරුල් කරගෙන ඉකි ගගහ දෙන්නා ඇඩුවා මොන තරම් හිත තද කරන් හිටියත් අම්මගේ ඇස්වලත් කඳුලු වැක්කෙරුනා .
පහුවදා උදේම වෙනුර තාත්තට කිව්වා ගමට ගිහින් එක පාරක් ගම බලලා එන්නම් කියලා ඊට පස්සේ තාත්තාගේ අවසරය මත වෙනුර ගමට ගියා පැය හය හතකට පස්සේ වෙනුර ගම වෙත ලගා වුනා
වසර ගාණක් ගෙවිල ගිහින් උනත් ගමේ අය වෙනුරව අදුරගත්තා ගමේ පිරිස වෙනුරගෙන ඔහුගෙ මව පියා ගැන තොරතුරු විමසුවා වෙනුර තමන්ගේ පත්වෙලා තියෙන දුෂ්කර තත්වය ගැන සියලු
තොරතුරු කිව්වා ගමේ හැමෝම වෙනුරගේ අම්ම ගැන දුක් වුනා ඒත් දුප්පත් කමේ අන්තයට වැටිලා හිටිය ගමේ අයට මුදලින් කිසිම උදව්වක් කල නොහැකි බව ඔවුන් වෙනුරට කියලා දුක් වුනා වෙනුර ඒ අයට කිව්වා ඒ ගැන දුක් වෙන්න එපා පුලුවන්නම් කැලේ මැද ඉන්න මෝහිනී කියන යක්ෂනී ගාවට යන විදිහ කියන්න කියලා ගමේ හැමෝම ඒක අහලා කලබල වුනා ඒ කවුරුවත් කැමති උනේ නෑ වෙනුර ඒ වගේ භයානක ගමනක් යනවට හැමෝම ඔහුට නැවත ගෙදර යන ලෙස පවසා වෙනුරව මග හැර විසිර ගියා.
නමුත් එක මහල්ලෙක් පමණක් ඉතුරු වුනා ඔහු වෙනුරට මෙහෙම කිව්වා.
" පුතේ උඹට අම්මව මොන ක්‍රමයෙන් හරී බේරගන්න ඕනෙ කියල මට තේරෙනවා උඹ රත්තරං පුතෙක් අම්ම වෙනුවෙන් මාරයගෙ කටට යන්නත් ලෑස්තියි හොදයි මම කියන්නම් ඒ යක්ෂනී ගාවට යන විදිහ උඹට කැලේට ඇතුල් වෙනකොටම මීටර් සීයක් විතර ගියාම හම්බ වෙනවා මහා නුග ගහක් ඒ නුග ගහ ලගින් දකුණට හැතැප්ම බාගයක් විතර ගියාම ගුහාවක් හම්බ වෙනවා ඒ ගුහාව ඇතුලේ තාපසයෙක් ඉන්නවා ඒ තාපසය සවස හයේ ඉදන් උදේ හය වෙනකන් භාවනා කරනවා උදේ හයට තමා භාවනාවෙන් මිදෙන්නේ ඊට පස්සෙ උඹ ඒ තාපසයගෙන් අහල බලපන් එතුමා කියයි යන විදිහ "
මහල්ලා කියූ දේ අහලා වෙනුර මහල්ලගෙන් සමු අරන් ඒ තාපසයව හොයාගෙන යන්න පටන් ගත්තා මහල්ලා කියූ පාරේ නොවැරදී ගිහින් තවත් පැය දෙකකින් පමණ වෙනුර තාපසයා ඉන්න ගුහාවට ලගා වුනා ඒ වෙනකොටත් තාපසතුමා භාවනා කරමින් සිටියේ ඉතින් වෙනුර තීරණය කරනව උදේ වෙනකන් එතනම ඉදල තාපසතුමා භාවනාව ඉවරකරනකොට එතුමගෙන් මෝහිනී ගාවට යන පාර අහගන්නව කියලා.
පාන්දර හය වෙනකන් එකම ඉරියව්වෙන් භාවනා කරන තාපසතුමා දිහා වෙනුර පුදුමයෙන් බලන් හිටියා උදේ හය වෙනකොට තාපසතුමා භාවනාව අත් හැර දෑස් විවර කර වෙනුර දිහා බලලා මෙහෙම කිව්වා.
" තම මව්තුමිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබන නුඹ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් ඉතින් නුඹට මෝහිනී ගාවට යන්නම ඕනෑ නම් මා නුඹට පාර කියන්නම් "
" ඒත්..ඒත් තාපසතුමන් කොහොමද මා ගැන මේ විදිහට දන්නෙ හැම දේම "
වෙනුර ආපු කාරණාව තාපස තුමාට කියන්ඩත් කලින් තාපසතුමා ඒ හැම දේම දැනගත් විදිහ වෙනුරට පුදුමයක් වුනා
" මා හැම දේම දන්නවා දරුවා නුඹ සිතනවාට වඩා මේ ගමන බොහොම භයංකාර ගමනක් නුඹට මරණයනම් නියතයි "
" ඒත් මම මගෙ අම්ම වෙනුවෙන් උත්සහ කරල බලනවා තාපසතුමනි.."
" ඔව් නුඹගේ තිර අදිටන මා සංතෝෂයට පත් කලා දරුවා හිදින් මා පවසන්නම් නුඹ යා යුතු මග නුඹ මෙතනට පැමිණෙන විට හමු වූ නුග වෘක්ෂය වෙත යලි ආපසු ගොස් එතන සිට වම් අත දෙසට ගමන් කල යුතුයි හෝරාවක් පමණ ගමන් කල පසු නුඹට හමු වේවි මහා පර්වතයක් උඩ හැදුන නා ගසක් අන්න එතන සිට ආරම්භ වෙනවා මෝහිනී ගේ අඩවිය නුඹට එතනින් එහාට පොළවේ පස් වලින් පවා හඳුනාගත හැකියි මෝහිනී ගේ අඩවිය. තද කලු පාට වර්ණයක් තමා ඒ පසේ තිබෙන්නේ හැම ගසක්ම හැම කොලයක්ම කලුම කලු පාටයි ඒ මුලු අඩවියටම එකම ගසක් තිබෙනවා සුදු පත්‍ර තිබෙනා බෝ ගසක් ඒ හැරුන කොට අනෙක් සියලු ගස් කලු වර්ණයෙන් තිබෙන්නේ ඉතින් දරුවා නුඹ මෙන්න මේ රතු රෙදි කැබැල්ලි නුඹේ අතේ බැඳගන්න එවිට නුඹට මෝහිනී ගෙන් අත්වෙන මරණය වේදනා කාරී නොවේවි මා හට නුඹට ඒ මොහිනී ගේ වස්තුව ගත හැකි ක්‍රියාමාර්ගයක් කියා දිය නොහැකිය මන්ද වස්තු
ධන නිධාන මිල මුදල් යනු මහා භයානක සර්පයෙක් වැනිය "...
එහෙම කියලා තාපසතුමා වෙනුරගේ එක් අතක රතු රෙදි කැබැල්ලක් ගැට ගැසුවා ඊට පස්සේ වෙනුර තාපසතුමන්ට වැඳ නමස්කාර කර මෝහිනී සොයා යාමේ මාරාන්තික ගමනට පිටත් වුනා
එච්චර බලගතු තාපසතුමා තමන්ට මෝහිනී ගෙන් ගැලවිලා අර නිධානය අරගෙන එන්න ක්‍රමයක් කියල දුන්නෙ නැති එකට වෙනුර ගේ හිතට හරි නැතත් වේදනාත්මක මරණයකින් බේරී සුවදායි මරණයක් අත් කර ගත හැකි විදිහේ දෙයක් හෝ කර දීම ගැන සතුටු වුනා තවත් පැය දෙකකට පමණ පසු වෙනුර මෝහිනී ගේ අඩවියට ආවා කලුම කලු පාට පරිසරය මහා අද්භූතජනක මූසල හැඟීමක් වෙනුර ගේ හිතට ගෙන ආවා හිත දැඩි කරගෙන වෙනුර ඒ භිහිසුනු මෝහිනී ගේ අඩවියට ඇතුල් වුනා .
මග දෙපස ගස් වල එල්ලා තිබූ මිනිස් ඇට සැකිලි මීට පෙර මෝහිනී ගේ වස්තුව සොයා ගෙන ආපු හැමෝටම අත්වුණ ඉරණම කියා පෑවා වෙනුර බයෙන් බයෙන් ඉදිරියටම ඇදුනේ හැම තැනම පරීක්ෂා කරමින් වෙනුරට හිතුන දැන් දැන් මෝහිනී මොන පැත්තකින් හරි ඇවිල්ලා ඔහුට පහර දෙයි කියලා තවත් ඒ විදිහට සැකෙන් බයෙන් ඉදිරියට යන වෙනුරට පෙනුන ඔහුගේ දෑස මානයේ පෙනෙන සුදුපාට පත්‍ර වලින් පිරි බෝ ගසක් ඒ එක්කම ඔහුගේ දකුණු දිශාවෙන් නිල් පාට දුමාරයක් මැදින් වෙනුරගේ දෙසට එන යුවතියක් ඔහු දැක්කා.
හිමින් හිමින් වෙනුර දිහාට ආව යුවතිය දුටු වෙනුර ගේ දෑස් විසල් වුනා ඔහු කවදාවත් දැකල තිබුණේ නෑ එවැනි සුරූපි යුවතියක් ඇය වෙනුර දිහා බලලා මදහසක් පෑවා ඊට පස්සේ ඇය මිහිරි හඩින් වෙනුරට කතා කලා.
" ඔයා ආවේ නිධානෙ ගන්නද ..? එන්න මම පෙන්නන්නම් නිධානෙ තියෙන තැන "
වෙනුරට තේරුනා මේ ඉන්නේ ඒ භයානක මෝහිනී කියලා ඒත් වෙනුරට හිතා ගන්න බැරිවුනේ මෙච්චර සුරූපී යුවතියක් කොහොමද යක්ෂනියක් වෙන්නෙ කියලා ඊට පස්සෙ වෙව්ලන හඩින් වෙනුර කතාකලා .
" ඔයාද මෝහිනී..ක්..කි..කියන්නේ.අ..අනේ මට ඔයාගේ නිධානෙ ඔක්කොම ඕනෙ නෑ මට මගෙ අම්මව බේරගන්න ඕනේ ඒකට සල්ලි ඕනේ අනේ ම..මට උදව් කරන්න ඔයාගේ නිධානෙන් බොහොම ටිකක් මට දෙන්න.."
ඒ කතාව අහල මෝහිනී මහා සද්දෙන් හිනා වෙන්න ගත්තා.
" හැමෝම කියන්නේ ඔහොම තමා උඹට ඕනේ නිධානේ නේද හිටපන් මම දෙන්න නිධානේ .."
එහෙම කියනවත් එක්කම මෝහිනීගේ ඒ සුරූපී මූණ ක්‍රමක් ක්‍රමයෙන් මහා භයානක මුහුනක් බවට පත් වුනා ඊට පස්සෙ ඇය වියරු ලෙස වෙනුර දෙසට දිව ආවා ඔහුව මරා දැමීමට .
වෙනුර දැක්ක භිහිසුනු දර්ශනය නිසා මෝහිනී ගෙන් මිදීමට ඔහුත් වටේම එහෙට මෙහෙට දිව යන්නට වුනා අවසානේ හති වැටුන ඔහු එක් තැනක නතර වුනා මෝහිනීත් වහා නතර වුනා ඊට පස්සේ දුර සිට වෙනුරට කතා කලා නැවතත් සුරූපි පෙනුමට පත් වෙලා .
" කෝ ඔතනින් එන්න ඔයාට නිධානෙ එපාද එන්න ඉතින් ,
වෙනුර මද වෙලාවක් කල්පනා කලා .
..ඇයී මේ මෝහිනී මට එතනට අඩගහන්නේ මෙතනට ඇවිල්ල මාව මරන් නැතුව මම කොහෙද එතකොට මේ ඉන්නේ ආහ්..මේ තියෙන්නේ අර සුදුපාට කොල තියෙන බෝ ගහනෙ මට පේන්නේ මෝහිනීට මෙතනට එන්න බෑ වගේ ....
ඒ විදිහට හිතපු වෙනුර මෝහිනීට කතා කෙරුවා .
" මම මොකටද ඔතනට එන්නේ මෙතනට ඇවිල්ලා මාව අල්ලගත්තනම් ඉවරනේ.."
" ඔයාට නිධානෙ අරන් අම්මව බේරගන්න ඕන නැද්ද ඉතින් එන්න මම පෙන්වන්නම් නිධානෙ එන්නකෝ ඉතින් "
වෙනුර බෝ ගසෙන් කොල කිහිපයක් කඩා ගෙන තමාගෙ සාක්කුවට දාගෙන මෝහිනී ආසන්නයට ගියා.
" ඔය බෝ කොල වීසි කරල එන්නකෝ මම පෙන්නන්නම් ඔයාට නිධානේ "
" මම බෝ කොල විසික්කරන්නෙ නෑ මම දන්නවා මට තේරෙනවා මේ බෝ ගස මේ බෝ කොල නිසා මට අනතුරක් කරන්න බෑ කියලා.."
මෝහිනී මද වෙලාවක් නිශ්ශබ්දව වෙනුර දිහා බලන් හිටියා .
" මෙතනට ආපු හැම කෙනාටම වඩා උඹ මහා කපටියෙක් උඹ අදුරගත්තා මගෙ දුර්වල කම හොදයි මම උඹට නිධානේ පෙන්නනවා හැබැයි මෙහෙ දවස් පහක් ඉන්න වෙනවා කැමතිද "
" මම කැමතියි ඒත් මට නින්ද ගියාම මාව මරයි ඔහේ"
" උඹ ගාව ඔය බෝ කොල තියෙනකන් මට මොකුත්ම කරන්න බෑ උඹට ඒ වගේම උඹ අහන කිසිම දෙයකට මට බොරු කියන්නත් බෑ "
" හොදයි මම දවස් පහක් නතර වෙනවා "
" එහෙනම් වරෙන් මා පස්සේ අද ඉදන් දවස් පහ පටන් ගන්නවා මම ඉන්න තැනම තමා උඹ ඉන්න ඕනේ කෑම බීම හැම දෙයක්ම මම දෙනවා "
ඊට පස්සෙ වෙනුර මෝහිනී පස්සෙ ඇගේ නවාතැනට ගියා මෝහිනී ගේ නවාතැන අසලින් දිය පහරක් ගලා ගිය අතර වෙනුරට එක තැනකින් වාඩි වීමට සලස්වා ඔහුට පෙනෙන ලෙස ඇය ඇඳ සිටි ඇදුම් එකින් එක ඉවත් කර අඩ නිරුවතින් දිය පහරට බැස පිහිනන්න පටන් ගත්තා වෙනුර ඇය නා ගැනීමට සැරසෙන විටම ඉවත බලා ගත්තා ඉන්පසු දියෙන් ගොඩට ආ ඇය නෙක නෙක රැඟුම් පෑවත් වෙනුර ඒ දෙස මොහොතක්වත් බැලුවේ නෙ ඔහුට තිබුණේ එකම අරමුණයි ඒ තම මව කෙසේ හෝ බේරා ගැනීමටයි නොයෙක් ලෙස අඩ නිරුවතින් රැඟුම් පෑවත් වෙනුර නිකමටවත් ඇය දෙස නොබලන බව තේරුම් ගත් මෝහිනී වෙහෙසට පත්ව ඇයගේ කුටියට වැදුනා වෙනුරටත් මහන්සියටම නින්ද ගියා උදේ පාන්දර වැදුන පා පහරකින් වෙනුර අවදි වුනා .
" අද දෙවනි දවස නැගිටිනවා උඹ මාත් එක්ක ගමනක් යන්න එන්න ඕනේ"
මෝහිනී එලෙස මහ සද්දෙන් වෙනුරට බෙරිහන් දුන්නා ඉක්මනින් මූණ අත පය හෝද ගෙන වෙනුර මෝහිනී පස්සෙන්ම ගියා සෑහෙන දුර ගියාට පස්සෙ මෝහිනී ආවේ පලතුරු පිරුන පැත්තකට හැම ගහකම අතු ඉති පිරෙන්න පලතුරු තිබ්බා ඒ හැම තැනම ලොකූ බඩක් තියෙන කැත මුහුණක් තියෙන මිනිස්සු ගෑණු හිටිය තැන් තැන වල
" මේ පලතුරු විෂ නැත්නම් මම එකක් කඩාගෙන කන්නද "?
වෙනුර මෝහිනී ගෙන් ඇහුවා.
" ඔව් කන්න කන්න ඕවා හරිම රසයි කලුපාටට පෙනුනට "
මෝහිනී ගේ ඒ අවසරයෙන් වෙනුර එක පලතුරු ගහක් ලගට ගිහින් පාතම පලතුරු පිරිල තිබුන අත්තකින් එක ගෙඩියක් කඩා ගත්තා ඒ එක්කම එතන හිටිය බඩ ලොකු කැත මූණු තියෙන හතර පස් දෙනෙක් ඇවිත් දිගට හරහට වෙනුරට ටික වෙලාවක් පහර දුන්නා මෝහිනී මේ සියල්ල පැත්තකට වෙලා සිනාවෙමින් බලාගෙන හිටිය.
" ඇයි මට ගහන්නේ මේක මෝහිනීගෙ අඩවියනේ මම එයා ගෙන් අහල පලතුරු කැඩුවේ "
වෙනුර රිදුම් දෙන තැන් අතගාමින් අර කැත මූණු තියෙන අයගෙන් ඇහුවා.
" මේව මෝහිනීට අයිති නෑ මේව අයිති අපිට පලතුරු ඕන්නම් අපෙන් අහල කඩනවා "
" මට එකම එක පලතුරු ගෙඩියක් විතරයි ඕනේ "
වෙනුර අතෙන් බිමට වැටිල චප්ප වෙලා තිබුණ පලතුරු ගෙඩිය දිහා බලාගෙන වෙනුර එහෙම කිව්වා
" හොදයි පලතුරු ඕන නම් තමුසෙට අපේ අත පය හොදට මිරිකලා අපිව අපි ඉස්සරහ වැඳ වැටිල පලතුරු කඩා ගන්නවා"
පලතුරු ගෙඩියකට මෙවැනි දේවල් කිරීමට සිදු වෙතැයි වෙනුර කිසි සේත් සිතුවේ නෑ නමුත් තමන්ගේ ළඟ තිබුණ මාන්නය අත ඇරල ඒ බඩ ලොකු කැත මිනිස්සුන් කියන දේවල් කරල පලතුරු ගහකින් එකම ගෙඩියක් වෙනුර කඩා ගත්තා ඊට පස්සෙ ඒක දෙකට කඩලා ඔහු මෝහිනීට කෑල්ලක් දික් කෙරුවා මෝහිනී අමුතු විදිහට වෙනුර දිහා බලලා එය ප්‍රතික්ෂේප කෙරුවා ඉන්පසු තව දුරටත් ඉදිරියට යනකොට ඒ අවට හිටිය මිනිස්සු ගෑණු වෙනුරට අපහාස කෙරුවා උපහාස කෙරුවා වෙන මනුස්සයෙක් එතන හිටියනම් ඒ කියපු කරපු දේවල් වලට එතන හිටිය ඒ පිරිසව එකා ගානේ මරල දායි ඒත් වෙනුර සියල්ලම ඉවසුවා ඔහුට තම මව බේරා ගැනීමේ අරමුණ සියල්ලටම ඉහලින් තිබුනා .
" මේ මිනිස්සු අපහාස කරනව උඹට උන්ව මරන්න ඕනද කියපන් එක එකා ගානෙ අපි මුන්ව මරමු"
මෝහිනී වෙනුරට එහෙම කිව්වා.
" ඒ මොකටද ඒ මිනිස්සුන්ව මරන්නෙ ඕන නෑ ඕන නෑ ඔහොම තමා එක එක මිනිස්සු ඉන්නවා කාවවත් මරන්න ඕන නෑ "
වෙනුර එහෙම මෝහිනීට කිව්වට පස්සෙ මෝහිනී නොයෙක් දේවල් කියලා අර මිනිස්සුන්ව මරන්න කියලා වෙනුරට බල කෙරුවත් ඔහු ඒ දෙය අනුමත කෙරුවේ නෑ එදින දවසත් ඒ ආකාරයෙන් නිමා උනා ඊලග දවසේ තුන්වන දවසේ මෝහිනී වෙනුරව විශාල කණ්නාඩියක් ගාවට එක්ක ගියා ඊට පස්සෙ වෙනුරට මෙහෙම කිව්වා.
" මේ කණ්නාඩියට අත දාල උඹට කැමති ඕන දෙයක් ගන්න පුලුවන් "
" මොනවා..සල්ලි උනත් ගන්ඩ පුලුවන්ද ..?"
" ඔව් පුලුවන් ගිහින් තමන්ට ඕන දේ හිතාගෙන කණ්නාඩිය ඇතුලට අත දාල ගනින්.."
වෙනුරට හරිම පුදුමයි මේක ඔහු හිතුව මේ කණ්නාඩියට අත දාල ලක්ෂ විස්සක් අරන් මෝහිනීගේ නිධානෙ ගන් නැතුව යන්ඩ යනව කියලා ඊට පස්සෙ වෙනුර කණ්නාඩියට අත දාල ලක්ෂ විස්සක මුදලක් එලියට ගත්තා වෙනුරගෙ ඇස් ප්‍රීතිය නිසා බැබලුණා.
" මතක තියා ගනින් මේ උඹ ගත්ත සල්ලි උඹ ඉන්න ප්‍රදේශයේ කාගෙ හරි එකතුකරන් ඉතිරිකරන් ඉන්න සල්ලි වලින් අඩු වෙනවා කියන එක..".
"එතකොට මේ සල්ලි අනුන්ගේ සල්ලිද.."?
" ඔව් ඒක උඹට ප්‍රශ්නයක් නෙමේනෙ උඹට ඕනේ සල්ලිනේ ඔය තියෙන්නෙ ගනින් තව ඕන්නම් තව ගනින් "
වෙනුර අතේ තිබුණ සල්ලි ටික ඔක්කොම ආයෙමත් කණ්නාඩිය ඇතුලට දැම්මා ඊට පස්සෙ මෝහිනී දිහා බලාගෙන මෙහෙම කිව්ව.
" කාටවත් හොරෙන් කිසිම දෙයක් මට උවමනා නෑ මේක හොරකමක් මට ඕන නෑ මේ සල්ලි "
මෝහිනී නැවත නැවත වෙනුරට කිව්වා ඒ කණ්නාඩියෙන් සල්ලි ගන්න ඒත් වෙනුර කණ්නාඩිය පැත්තවත් බැලුවේ නෑ තුන්වන දවස එලෙස ගෙවිල ගිහින් හතරවන දවස උදා වුනා වෙනුර උදේම ගියා මෝහිනීව හොයාගෙන මෝහිනීගේ කුටිය පිටුපස ඇති නොයෙක් නොයෙක් මල් වර්ග පිපී සුවඳ දෙමින් තිබුණ හැම මලක්ම කලුපාට උනත් ඒව හරිම ලස්සනයි ඒ මල් අතරේ මෝහිනී සිටියා මල් දෙස බලාගෙන වෙනුරට මෝහිනීව දැකලා හිතුන මල් අතරේ ඉන්න තවත් මලක් කියලා ඇගේ ලස්සන දකින කෙනාව වශී කරවන සුලුයි ඒත් වෙනුරට ඒ හැම දේටම ඉහලින් තිබුණා අරමුණක් .ඉතින් වෙනුර ඇය ලගට ගිහින් එදා දවසේ කල යුතු දේ ඇහුවා ඊට පස්සෙ මෝහිනී වෙනුරව එක්ක ගියා සුදු පාට ඇදුම් ඇදගෙන ඉන්න වයසක මිනිසුන් පිරිසක් ලගට.
" මේ ඉන්නේ මගෙ සේවකයො පිරිසක් දැන් ඒ අය මට අවශ්‍යය නෑ දැන් ඒ අයව මම මරල දානවා"
එහෙම කියලා මෝහිනී ඒ වයසක පිරිස දෙසට අත දිගු කරනවාත් සමගම ඒ වයසක පිරිස එක පාර බිමට වැටිල දඟලන්න ගත්තා මිනිස් ඇසකින් බැලීමට අපහසු ඒ ශෝචනීය දර්ශනය දැක වෙනුර සසල උනා .
" අනේ ඒ අයව මරන්න එපා මරන්න එපා "
වෙනුර ඇස් වල කදුළු පුරෝගෙන මෝහිනීගෙන් ඉල්ලා සිටියා .
" ඔව් මට පුලුවන් මේ අයව නොමර ඉන්න හැබැයි උඹ ලග තියෙන බෝ කොල ටික විසික් කරන්න ඕනෙ කැමතිද "
මෝහිනී වෙනුරගෙන් තර්ජනාත්මකව එහෙම ඇහුවා වෙනුරගේ ලග තියෙන බෝ ගසේ පත්‍ර ඉවතට විසි කලහොත් ඔහුට මෝහිනී අතින් මිය යාම ඒකාන්තයි කියලා වෙනුර දැනගෙන හිටියා ඒ වගේම තමන්ගේ මව බේරාගැනීමටත් නොහැකි වන බවත් ඔහු හොදින්ම දැනගෙන හිටියා.නමුත් මේ වයසක පිරිස නිකරුණේ මිය යාම ඔහුට දරා ගැනීමට නොහැකි වුනා අවසානේ වෙනුර තීරණය කෙරුවා ජීවිත රැසක් වෙනුවෙන් තමාගේ සහ තම මවගේ ජීවිත අත හැරීමට
" මම බෝ කොල විසි කරන්නම් අනේ ඒ අයව අත අරින්න "
එතකොටම මෝහිනී වයසක අයව තම මායා ග්‍රහණයෙන් අත හැර දැමුවා.
" ඇයි ඔයාට ඕන නැද්ද ඔයාගෙ අම්මව බේරගන්න ඔයාට නිධානෙ ඕන නැද්ද මම කවදාවත් ඔයා වගේ හදවත ලස්සන පිරිමියෙක් දැකලා නෑ ඇයි "
" මම දන් නෑ මගෙ හදවත ලස්සනද මම හොදද කියලා ඒත් මට බලන් ඉන්න බෑ කවුරුවත් මැරෙනවා "
ඊට පස්සේ වෙනුර සාක්කුවේ දාගෙන හිටිය බෝ පත්‍ර එකින් එක ඉවත් කෙරුවා අවසාන බෝ පත්‍රය ඉවත් කරන්න හදනකොටම මෝහිනී එය වැලැක්වූවා .
" මේක ඔයාගෙ ගැන කරපු පරීක්ෂාවක් ඔය බෝ කොලේ ඔයා සාක්කුවේ දාගන්න "
එහෙම කියලා මෝහිනී වෙනුර ගැන හැම දෙයක්ම ඇහුවා වෙනුරත් තමන් ගැන හැම දේම කිව්වා ඊට පස්සෙ මෝහිනී තමන් ගැන විස්තර කිව්ව වෙනුරට මෝහිනී කිව්ව විදිහට එයා අප්සරාවියක් මනුස්ස ලෝකෙ එක්තරා රූපශ්‍රීයෙන් අගතැන්පත් කඩවසම් රජ කුමරෙක් ගැන දැනගෙන ඇය මනුස්ස ලෝකෙට ඒ රජ කුමරාගෙ රූපයට ආදරෙන් ඇවිත් තියෙනවා නමුත් ඒ කුමාරයාගේ මුහුණ විතරයි ලස්සන ඔහු ඉතා දුෂ්ට රජ කුමරෙක් නැවත ඇය ඇගේ ලෝකයට ගියත් මනුස්සයෙකුට ප්‍රේම කල නිසා ඇයට ශාප කල ඇගේ ලෝකයේ රජු ඇයව මේ තැනට පිටුවහල් කරල තියෙනවා විශාල නිධානයකුත් සමග ඇගේ ශාපෙ නැවත බිදෙන්න නම් ඇයට හදවත ලස්සන අයෙක් හට ප්‍රේමයක් ඇති විය යුතුයි කියලා කිව්වා ඒ විතරක් නෙමේ ඇය මැදියම් රෑ වෙන තෙක්ම වෙනුර එක්ක ඇගේ ලෝකෙ තියෙන දේවල් ඇගේ මව් පියෝ ගැන කතා කෙරුවා .
පසු දින වෙනුරගේ හිස මෘදු ලෙස කරනා ස්පර්ෂයකින් වෙනුර අවදි වුනා දෑස් විවර කර බැලූ වෙනුර දැක්කෙ ඔහු ඉදිරියේ ලස්සන හිනාවකින් සැරසී ඉන්න මෝහිනීවයි.
" නැගිටින්න අද මම ඔයාට මගේ නිධානේ පෙන්නන්න එක්ක යනවා කෝ ඉතින් ඉක්මනට ලෑස්ති වෙන්න.."
මිහිරි හඩින් සුරතල් ලෙස මෝහිනී වෙනුරට කිව්වා ඊට පස්සෙ වෙනුරවත් එක්කරගෙන විශාල ගල් ගුහාවකට ගියා ගුහාව ඇතුලට ගිය වෙනුරට ඇස් අදහා ගත නොහැකි වුනා ගුහාව පුරෝල රන් රිදී මුතු මැණික් තිබුණ .
" ඔන්න මේ නිධානේ සම්පූර්ණ ඔයාට අයිතියි ගන්න නිධානෙ අරගෙන ඔයාට ඔයාගෙ ලෝකෙ රජ කරන්න පුලුවන් ගන්න ඔක්කොම ගන්න "
වෙනුර ඒ නිධානෙ ලගට ගිහින් පුංචිම පුංචි මැණික් ගලක් අරගත්තා ඒක අරගෙන මෝහිනී ලගට ආවා.
" මේක ඕන්නම් ලක්ෂ විස්සක් තිහක් වටියි මෙච්චරයි මට ඕනෙ මේකෙන් මට මගෙ අම්මව බේරගන්න පුලුවන්"
වෙනුර එහෙම කියනකොට මෝහිනී පුදුමයෙන් ඔහු දිහා බැලුවා .
" ඇයි මෙච්චර ලොකු නිධානයක් අත අරින්නේ අරන් යන්න මේක රජ කරන්න ඔයාගෙ ලෝකෙ "
මෝහිනී මොන තරම් කිව්වත් වෙනුර ඒ නිධානයෙන් අර පුංචි මැණික් ගලට වඩා කිසිම දෙයක් ගත්තෙ නෑ .
" මට නිකන් ලැබෙන දේවල් ඕනෙ නෑ මගෙ මහන්සියෙන් මම මට ඕන දේවල් සපය ගන්නවා ඊටත් මට ඕනෙ නෑ රජෙක් වෙන්න සාමාන්‍ය විදිහට නිදහසේ ඉන්න තිබුණනම් ඇති "
වෙනුර මෝහිනීට එහෙම කිව්වා
" ඔයා වෙනස්ම කෙනෙක් ඔයාව රාගයට,මෝහයට ද්වේශයට,ලෝභයට ,ආශාවට මේ කිසිම දෙයකින් පරදවන්න බැරි වුනා මේ දවස් ටිකෙන් මම ඔයා ගැන තේරුම් ගත්තා ඔයා ලස්සන හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක් කියලා දැන් ඔයා යන්න යනවද.?"
" ඔව් "
එහෙම කියලා වෙනුර ගෙදර යන්න පිටත් වුනා මෝහිනීගේ වන සීමාව ඉවර වෙනකන් ඇය වෙනුර පසු පස ආවා වෙනුර ඈතට නොපෙනී යනකන්ම මෝහිනී ඇස්වල කඳුලු පුරෝගෙන බලාගෙන හිටියා කොහොම හරි වෙනුර ගෙදර ගිහින් මැණික් ගල විකුණලා ඒ මුදලින් මවගේ සැත්කම කරල ඇයව බේර ගත්තා පස්සෙ ටික දවසකට පස්සෙ නැවත ඔහුට හිතුන මෝහිනීව බලන්න යන්න ඊට පස්සෙ ඔහු ඒ කැලේට ගිහින් මෝහිනී ගේ වන අඩවියට ගිහින් බැලුවම ඒ පරිසරයේ තිබූ කලු පාට ඉවත් වෙලා කොල පැහැය හැම තැණම දිස් වුනා.
" දෙයියනේ මෝහිනී ගේ ශාපය ඉවර වෙලා ඒත්..ඒත් කාටද එයා ආදරය කෙරුවේ කවුද ඒ මෝහිනී ආදරය කරන්න පටන් ගත්ත හදවත ලස්සන තරුණයා "
අවට පරිසරය දැකලා වෙනුරට එහෙම කියවුනා ඊට පස්සෙ මදක් කල්පනා කල වෙනුර හදිස්සියේම යමක් මතකයට නැගී තිගැස්සුනා.
"" ද් දෙයියනේ මටයි එයා ආදරය කරල තියෙන්නේ ..""
අවසානේ වෙනුරට තේරුනා ඇය ඔහුට ප්‍රේම කර ඇති බව නමුත් හැම තැනම හෙව්වත් ඔහුට ඇයව යලි දැක ගැනීමට නොහැකි වුනා වෙනුර මෝහිනී ගැන මතකයෙන් සෑහෙන කාලයක් කල් ගෙව්වා කාලය හැම දේටම විසඳුම් දෙනව කියන දේ ප්‍රත්‍යක්ෂ කරමින් වෙනුරට මෝහිනීගේ මතකය කෙමෙන් කෙමෙන් මැකී ගියා
වසර ගාණකට පස්සෙ මවගේ දැඩි බල කිරීම මත වෙනුර සිතුවා විවාහයක් කර ගැනීමට ඔහු සේවය කල ආයතනයේ මව පියා නැතිව තනි වූ යුවතියක් සිටියා ඇය බොහොම සුරූපියි ඇය ගැන කෙමෙන් කෙමෙන් ලියලුනු ප්‍රේමය නිසා එක් දිනක් වෙනුර තමගේ ප්‍රේමය ඇයට ප්‍රකාශ කෙරුවා ඇයද පැවසුවේ ඔහුට ආදරය කරනා බවයි තවත් ටික දිනකට පසු ඔවුන් දෙදෙනා විවාහ වුනා
ඔවුන් දෙදෙනාගේ මධුසමය ගත කිරීමට ඇති රාත්‍රියේ වෙනුරගේ බිරිඳ ඇය ලග තිබූ කුඩා පෙට්ටියක් වෙනුරට දුන්නා.
" මේක තමා අපි දෙන්නට විශේෂ අද දවසේ මම ඔයාට දෙන තෑග්ග ඇරල බලන්න"
කුඩා පෙට්ටිය විවර කල වෙනුර එතුල තිබූ දෙය දැක විස්මය පිරි නෙතින් ඇය දෙස බැලුවා කුඩා පෙට්ටිය තුල තිබුනේ සුදු පැහැති බෝ පත්‍ර කිහිපයක්.
වෙනුරගේ බිරිද ඔහු ලගට ආදරෙන් ආව ඇයගේ ඇස්වල ආදරේ උතුරන්න තිබුනා වෙනුර දිහා හරි ලස්සනට සිනාසෙමින් බලාගෙන ඇය ඔහුගේ හිස හිමීට පිරිමැද්දා වෙනුර ගේ සිතට දැනුන අසීමිත ප්‍රීතිය නිසා ඔහු ඇයව තදින් තුරුල් කරගත්තා.
නිමි.
Comments
Post a Comment