බඩගින්න
අවුරුදු දෙකහමාරකින් පමණ රුක්මල්ගම ගමට වැහි පොදක් වැටුනේ නෑ ගම කෙලවරේ තිබුණ වැවේ අවසාන ජල බිදුවත් සිදී ගියා ඉතුරුවුනේ දැඩි හිරු රශ්මියයි අවතාර දෑත් ඔසවන් ඉන්නව වගේ ඈතට පෙනුන වෘක්ෂලතායි පමණයි කෘෂිකර්මයෙන් ජීවත් වුන ගැමියන්ගේ බව බෝග දැඩි රශ්මිය හේතුවෙන් දැවී අලු වී ගියේ ජීවත්වීම යනු කරුමයක් බව ගැමියන්ට පසක් කරමින් ඇත්තෝ කති බොති කියන කියමන සනාත කරමින් ගමේ මිල මුදල් යහමින් ඇති කිහිප දෙනාට පමණක් මේ සියලු අග හිග කම් පයට පෑගෙන දූවිල්ලක් බවට පත් වෙලා තිබුණ බව ගැමියන්ට නොරහසක් වෙලා තිබුණ.
කුසගින්න ප්‍රධාන කොටගත් ජීවන අරගලයට ගමේ අන්ත දුප්පතුන් ලෙස වර්ගීකරණය කරන ලද මිනිසුන් අතර ජිනසේන මුල් පෙලේම ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙලා හිටියේය හෙටක් ගැන සිහිනෙන්වත් සිතීම අන් ගැමියන්ට සේ ජිනසේනටත් පොදු දහම වෙලා තිබුණේය ගමේ සිල්ලර කඩේ ණය පොතේ ජිනසේනගේ නම සටහන් වෙලා තිබුණේ සිල්ලර කඩේ පස් පෑගීමටත් නොහැකි ලෙසය නමුත් ගමේ ඇහැට කණට පේන සුන්දර ලලනාවන්ටනම් කඩයේ අයිතිකරුවන ජේමිස් මුදලාලිගේ අනුකම්පාව හිමි විය ජිනසේනට එවැනි අනුකම්පාවක් කිසිම දාක නොලැබීමට දැලි අගුරු වලටත් වඩා කාල වර්ණයෙන් දිස්වෙන කෙසග ශරීරයක් හිමි ඔහුගේ බිරිද ද හේතුවක් විය
ගම පුරාම හවස් වෙනකන් කරක් ගැසුවත් ජිනසේනට කුලීවැඩක් සොයා ගැනීමට අපහසු විය පෙරදා රාත්‍රියේ අවසන් හාල් ස්වල්පයත් අවසන් වූ බව ඔහුට හොදින්මතකයේ තිබුණේය හැන්දෑ ජාමේ ගෙට ගොඩ වුනේ ජිනසේන සියලු බලාපොරොත්තු කඩවීම නිසා හටගත් විශාල වේදනාවක් හදවතේ සිරකරගෙනය.
" මොකද ඒයි කීයක්වත් හොයාගන්න බැරිවුනාද.? ජිනසේනගේ බිරිද කමලා විමසුවාය.
" හ්ම්..කමලෝ දරුවා කෑවද ..ආහ්..මට අමතක වුනා නෙවැ මොනා කියල කන්ඩද අපි වගේ කරුමක්කාරයෝ ලග ඉපදිලා මේ දරුවත් දුක් විදිනව රස්සා නෑ කමලෝ මට බලන්න බෑ බං මේ පොඩි එකා දුක් විදින එක .."
" දවල්ට මම එකම එක කෙහෙල් පැලයක් තිබ්බ ඒකෙ බොඩේ තම්බල දුන්න රෑට මොකුත්ම නෑ අනේ මන්ද මොනා කොරන්නද කියල මට තේරෙන් නෑ."
" මාත් එක්ක ඇවිල්ල කලින් කමලෝ උඹ දුක් වින්ද දැන් මේ පොඩි එකයි උඹයි දෙන්නම දුක් විදිනව.." තම වයස අවුරුදු අටක් පමණැති පිරිමි දරුවා දෙස බලා දෑසට ඉනූ කදුලක් පිටි අල්ලෙන් පිසිමින් ජිනසේන පැවසුවේය.
" දැන් නිදාගෙන හිටියට ඇහැරුනාම බඩගිනියි කියනව එතකොට මොනවද දෙන්නේ ඒයි.."?
" කමලෝ මට වතුර කෝප්පයක් දියන් උඹත් කාල නෑ නේද? අර දොර මුල්ලේ තියෙන කැත්තයි මන්න පිහියයිත් දීපන් වැව උඩහට ඌරෝ එනව පොඩි පැටියෙක් වත් මරාගත්තොත් හරි.."
ජල බදුන් හත අටකින් කුස පුරෝගත් ජිනසේන කැත්තත් මන්න පිහියත් රැගෙන එලියට බැස්සේය.
" ඔහේ දඩයම් පුරුදු වෙන්න කරනව නොවුනත් පරිස්සමින් .." ඇයට පිටුපා යන ජිනසේන දෙස බලා කමලා පැවසුවාය.
**********************************************
රුක්මල්ගම ගමේ සිල්ලර කඩේ වැඩ කල ආතර් අයියාට ගමේ ලොකු පොඩි හැමෝම ආමන්ත්‍රණය කලේ ආතර් අයියා යන නාමෙන්ය කාගේ කවුද කොයි පලාතකද කියා ආතර් අයියා කිසිවෙකුටවත් කීවේ නැත කිසිවෙක් දැන සිටියේද නැත රාත්‍රියේ ඔහු නිදා ගත්තේ වෙලදසැලේ පිල් කඩේය එයට කඩේ අයිතිකරු වන ජේමිස් මුදලාලිගෙන් මනා පිටුවහලක් ලැබින මන්ද කඩයේ ආරක්ෂාවට එම ක්‍රියාවලිය හේතුවක් වන නිසාය.
එදින රාත්‍රියේ සිල්ලර කඩය පිටුපස වන බූටෑවෙන් ඇසුන යම් ශබ්දයක් නිරීක්ෂණය කිරීම සඳහා ආතර් අයියා එම ශබ්දය ඇසුණ දෙසට ගමන් කලේය.
පසු දින රුක්මල්ගමේ එක් පුද්ගලයෙක් අතුරුදන්ව සිටියාය ඒ වෙන කිසිවෙක් නොව කාගෙත් හොදහිත දිනා සිටි ආතර් අයියාය මේ අතුරුදහන්වීමෙන් විශාල පාඩුවක් වී තිබුණේ ජේමිස් මුදලාලිටය .නමුත් මුදල්ම ජීවිතය කරගත් ජේමිස් මුදලාලි එම අතුරුදන් වීම ගැන තැකීමක් කලේ නැත
"ඊයේ ගෙනා මස් ටිකනම් දවස් තුනකට විතර සෑහෙයි ඒයි. මොනා වුනත් හරිම රසයි නේද .."?
කමලා පිරිපුන් සිනාවකින් මුව සරසාගෙන පැවසුවාය.
" වැව උඩහට පුදුම විදිහට ඌරෝ එන්නේ කමලෝ මට පුදුම සතුටක් තියෙන්නේ පොඩි එකා ඊයේ හිටියේ අහෝ. හාමත් වෙලා අදනම් ඉන්නව කෝපි මල් පොකුරක් පිපිල වගේ ලස්සනට.."
තවත් දින හතරක් පමන කිසි හැල හොල්මනක් නැතිව ගෙවිල ගියා එම දින හතර හිතේ හැටියට කෑමට ජිනසේනගේ නිවසේ මාංශ තිබුණේය.ඔවුන්ට කුසගින්න අමතක වෙමින් තිබිණි
පාන්දර පන්සලේ ගාණ්ඨාරයේ හඩ නිසා ගමේ හැමදෙනාම පාහේ පන්සලට රැස්වුණහ සෝමරතන හාමුදුරුවෝ පැමිණ සිටින සියලුම පිරිස අමතමින් කතාකලේය " පන්සලේ වැඩ කටයුතු කරගෙන හිටි පොඩි අප්පු උපාසක මහත්තය අතුරුදන් වෙලා ඊයේ රෑ දොළහ විතර වෙනකන් උන්නැහේ හිටිය. නමුත් උදේ බලනකොට අතුරුදහන් වෙලා.."
" එහෙනම් හාමුදුරුවනේ අපි ගම පුරාම හොයමු බැරිම උනොත් පොලීසියට පැමිණිල්ලක් දාමු.".පැමිණ සිටි පිරිස අතරින් ජිනසේන පැවසුවේය.
" හොදයි මාත් කියන්න හිටියේ ජිනසේන උපාසක මහත්තය කියපු දේම තමා එහෙනම් එහෙම කරමු.." සෝමරතන හාමුදුරුවන්ගේ එවදන් ඇසුනාට පසු සියලුම දෙනා පොඩි අප්පුව සෙවීම සදහා විසිරුනහ.
දිනක් පුරා සෙව්වත් පොඩි අප්පු නැමැත්තා හමුඋනේ නැත සියලු උත්සහයන් ව්‍යර්ථ වූ නිසා සෝමරතන ස්වාමීන් වහන්සේ ජිනසේනත් සමග පොලිස් ස්ථානයට යාමට පිටත් වුනා.
පොලිස් ස්ථානයට පැමිණිල්ල යොමු කොට ආපසු එන අතර වාරේ හුරුපුරුදු කිසිවෙකුගේ ආමන්ත්‍රණය නිසා ආපසු හැරී බැලූ විට දකින්න ලැබුණේ ගමේ ග්‍රාම සේවක මහතාය "ඔබ වහන්සේ පොඩි අප්පු නැති වුන එක ගැන පැමිණිල්ලක් දාන්න ගියාද මාත් මේ රාජකාරි වැඩකට ආව ආ:ජිනසේන මම ඔහේවත් හම්බ වෙන්න හිටියේ කාර්යාලයට ඇවිල්ල තියෙනව සහනාධාර බඩු ඔහේගෙ නමත් තියෙනව ඇවිල්ල අරන් ගියානම් හොදා.."
ග්‍රාම සේවක මහතාගේ එවදන් ඇසීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය ජිනසේන "..හොදයි මහත්තයෝ මම ඇවිල්ල අරන් යන්නම්.."කියා පැවසුවේය.
රජයෙන් හමු වූ සහනාධාර මාස හත අටකටත් වඩා සෑහෙන තරම් තිබිණි ගෙදර තිබූ මාංශ කමලාගේ දැඩි විරෝදය මැද සත්තුන්ට කෑමට වීසි කලේ ජිනසේනට මාංශ දැඩි අපුලක් වී තිබුණ නිසාය
නමුත් ජිනසේනගේ දරුවාට සහ බිරිදට මාංශ නැති වීම නිසා කෑම ප්‍රතික්ශේප කරන්නට විය පුරා දිනක්ම ඔවුන් දෙදෙනා කුසගින්නේ පසුවීම ජිනසේනට දරාගත නොහැකි විය අවසානයේ ඔහු තීරණයක් ගත්තේය කුසගින්නේ හාමත්වීම නිසා දරුවා සහ බිරිදට තදින් නින්ද ගොස් තිබිණ දොර පියන් අගුල දමා යතුර බිත්තියේ ඇති කවුළුවකින් එලියට වීසි කල ජිනසේන කුප්පි ලාම්පුවේ භූමිතෙල් ගේ පුරා විසිරෙව්වේය.
" මට සමාවෙයන් පුතේ සමාවෙයන් කමලෝ උඹලගේ බඩගින්න නිවන්නයි මම කරන්න දෙයක් නැති කමට මිනී මස් දුන්නේ ඒත් දැන් උඹල ඒවට ඇබ්බැහිවෙලා මට තවත් උඹලගේ බඩගින්නට මිනිස්සු මරන්න බෑ ඒක මහා පාපයක්. ."එසේ තමන්ටම මුමුණමින් ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් ගැසුවේය.
පැය බාගයකටත් අඩු කාලයකදී ජිනසේනගේ නිවස දැවී අලු විය.
********** නිමි *******************************
Comments
Post a Comment