යක්ෂයාගේ ඇස 01

 

පලමු කොටස 01

තේගිරිස් ගුරුන්නාන්සේ කියන්නේ මුලු ලංකාවෙම ප්‍රසිද්ධ බලි තොවිල් යක්කු පෙරේතයෝ හොල්මන් බූතයෝ අල්ලන වගේ අද්භූත වැඩ වලට උපන් හපනෙක් තේගිරිස් ගුරුන්නාන්සේ වස් කවි හදි හූනියම් වැඩ දැනගෙන හිටියත් ප්‍රතිපත්තියක් විදිහට ඒ භයානක දේවල් කිසිම කෙනෙකුට කරල දුන්නේ නෑ ලංකාවෙ හතර වටේ අමනුෂ්‍යයින්ගෙන් කරදර සිද්ධ වෙන තැන්වලට තේගිරිස් ගුරුන්නාන්සේ ගියේ ශත පහක්වත් බලාපොරොත්තුවෙන් නෙමේ යම් කිසි තැනකින් ගුරුන්නාන්සෙට පණිවිඩයක් ආවොත් ඒ දවසෙම ඒ තැනට ගිහින් අමනුෂ්‍ය කරදරේ නැතිකරල දැම්මේ ඔහු මුදලට වඩා මනුස්ස යහපත වෙනුවෙන් කටයුතුකල නිසයි .


මැලේරියා උන හැම තැනම පැතිරුණ ඒ කාලේ තේගිරිස් ගුරුන්නාන්සෙටත් කොහොම හරි උන රෝගය වැලදුනා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ නවත්වපු තේගිරිස් ගුරුන්නාන්සෙගෙ හොදම ගෝලයා වුන මට උන්දෑ මේ විදිහට කිව්වා.


" නාරද උඹට මන්තර සෑත්තරේ බොහෝ දුරට පුලුවන් නෙවැ මේ ටික දොහේ අපේ ගෙදරට මාව හොයාගෙන එන එවුන්ගේ ඔය පොඩි පොඩි පුරස්න නිරාකරණය කොරල දියන් ඒක බොටත් පින් අත් වෙන වැඩක් හැබැයි පුතෝ ලොකූ දේවල් වලට උඹ අත ගහන්ට යන්ට එපා .."


" හොදමයි ගුරුන්නාන්සෙ"


මම එහෙම කියලා ගුරුන්නාන්සෙ ලග තව ගෝලයෙක් උන මහතුංව නතර කරල මගෙ ගෙදර නොයා ගුරුන්නාන්සෙගෙ ගෙදර ගියා තේගිරිස් ගුරුන්නාන්සෙ තනිකඩව තමා ජීවත් උනේ තම පරම්පරා උරුමයෙන් විශාල දේපලක් උන්දැට අයිති වෙලා තිබුණා තනිකඩ කමයි දේපලයි නිසා තමා උන්දෑ යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට කාසි පනම් නොඉල්ලුවේ සන්තොෂෙන් දෙන දෙයක් ගත්තා විතරයි .


මමත් ගෙදර මගෙ අම්මට පණිවිඩයක් ඇරියා ටික දවසක් ගුරුන්නාන්සෙගෙ ගෙදර නවතිනව කියලා ඊට පස්සෙ මම බලාගෙන හිටියා මොකක් හරි අමනුෂ්‍ය දෙයකට මැදි වුන කවුරු හරි ගුරුන්නාන්සෙව හොයා ගෙන එනකන් ඒත් දවස් තුන හතරක් ගියත් කිසිම කෙනෙක් ආවේ නැහැ 

මමත් බලාගෙන හිටියා ගුරුන්නාන්සෙ වගේ මගෙත් වැඩ පෙන්නල නමක් දිනා ගන්න මටත් ඕන උනා ඇත්තම කියනවනම් ප්‍රසිද්ධ වෙන්න ඒත් ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්න නම් අමනුෂ්‍ය බලපෑමක් සිද්ධවුන තැනකින් පණිවිඩයක් එන්න ඕනෙනෙ .


හයවෙනි දවසෙ උදේම ගුරුන්නාන්සෙ නමට ලියුමක් ඇවිල්ලා තිබුණ ඒක කඩල මම බලනවද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඉඳලා හවස ඕන දෙයක් කියල ලිපි කවරේ ඉරල ලියුම අරන් කියෙව්වා ඒක මහා අමුතුම ලියුමක් ආණමඩුව පැත්තෙ ගමක මනුස්සයෙක් එවපු ලියුමක් ඒක කියෙව්වම මට හිතුන මේක බොරුවක්ද එහෙම නැත්නම් කාගෙ හරි විහිළුවක්ද කියලත් ලිපියෙ තිබුණෙ මෙහෙම දෙයක්.


** මහත්මයා අපේ ගමේ මහා අමුතු දේවල් සිද්ධ වෙනවා ඔක්කොටම වඩා ගමේ අයට හැම දෙයක්ම අමතක වෙනවා මේ වෙනකොට ගමේ සෑහෙන දෙනෙක් අතුරුදන් වෙලා ඒත් ගමේ අයට අමතකයි ඒ අය අතුරුදන්වෙලා කියන එකත් අතුරුදන්වෙන හැම කෙනාම අතුරුදන් වුන තැන බිත්තියක මහා භයානක ඇසක් ඇඳල තියෙනවා මම මේ ලිපිය ඔබතුමාලට එව්වට පස්සෙ මට අමතක වෙයි මම මෙහෙම ලිපියක් එව්වද කියන එකත් පුලුවන්නම් මේ ගැන සොයා බලන්න මේක යක්ෂයෙකුගේ වැඩක් මට හිතෙන විදිහට *****


ඇත්තටම ඒක මහා අමුතු ලිපියක් මම හිතුව ඒ ගමට යනවද නැද්ද කියලා පැය ගානක් කල්පනා කරල මම හිතුවා ඒ ගමට ගිහින් බලනවා මොකක්ද ඒ ගමේ සිද්ධ වෙන මිනිස්සු අතුරුදන් වෙන රහස කියලා ඒත් මම දැනගෙන හිටියේ නෑ මම ඒ ගත්ත තීරණය මොන තරම් නම් භයානකද කියලා ..


මම තේගිරිස් ගුරුන්නාන්සෙට පණිවිඩයක් යැව්වා ගමේ කෙනෙක් අතේ ගමක පොඩි ප්‍රශ්නයක් වෙලා ඒක බලලා එන්නම් කියලා ඊට පස්සෙ දවස් දෙක තුනකට ඇති වෙන්න ඇදුම් ටිකකුත් බෑග් එකකට දාගෙන ඒ ගම හොයාගෙන ගියා පැය පහ හයකට පස්සෙ මම ඒ ගම වෙත ලගා වුනා මට ගමේ හම්බවෙන හැම කෙනා ගෙන්ම මම ඇහුවා මේ ගමේ මිනිස්සු අතුරුදන් වෙනව වගේ සිද්ධි වෙනවද කියලා හැමෝගෙම උත්තරේ උනේ එකම උත්තරයයි.


" අපෝ නෑ මහත්තයෝ මේ ගමේ ඔය වගේ දේවල් සිද්ධ වෙන්නෙ නෑ මහත්තයට කවුදෝ බොරුවක් කියලා.."


හැම කෙනාගෙන්ම ඇහුවට පස්සෙ මට තේරුනා මේක බොරුවක් මම ආපසු යන්න ඕනෙ කියලා ඒත් වෙලාව හයටත් කිට්ටු වෙලා තිබුණ නිසා ආපහු යන්ඩ මේ වෙලාවෙ බස් එකකුත් නැති හේතුව නිසා මම හිතුව ඒ ගමේ නැවතිලා පහුවදා උදේම යනවා කියලා ඒ ගම කෙලවරේ අම්බලමක් තිබුණ ඒකෙ අද රෑ ගත කරනවා කියලා හිතපු මම ඒ පැත්තට යන්න කියල හදද්දි මට මතක් වුනා අර අමුතු ලියුම එවපු කෙනාවත් හම්බ වුනානම් හොඳයි කියලා ඊට පස්සෙ ගමේ කෙනෙකුට ලියුම එවපු කෙනාගේ ලිපිනය පෙන්නල ඇහුවට පස්සෙ ඒ ලිපිනය තියෙන ගෙදරට මාව එක්කරගෙන ගියා ඊට පස්සෙ ඒ මනුස්සයා මට ගේ පෙන්නලා යන්න ගියා 


මම ඒ ගෙදර ලගට ගිහින් තුන් හතර පාරක් කතා කෙරුවා මේ විදිහට.


"" ගෙදර කවුද.."""ගෙදර කවුදෝ.."""


ඊට පස්සෙ ඒ ගෙදර දොර ඇරුනා නිවසේ සිට තරුණයෙක් පිටතට ආව ඔහු ගේ ඇස්වල තිබුණේ නිදිබර ගතියක් මම ඔහුට ඒ අමුතු ලිපිය පෙන්නලා ඇහුවා මේ ලිපිය එව්වෙ ඔබද කියලා තරුණයා ලිපිය මවෙතින් අරගෙන හොඳට පරීක්ෂා කරල බැලුවා ඊට පස්සෙ මගෙ දිහා බලල මෙහෙම කිව්වා.


" මේ ලියුමේ තියෙන අත් අකුරු නම් මගෙ තමා ඒත් මම එහෙම කිසිම කෙනෙකුට ලියුමක් ඇරියෙ නෑනේ .."


ඒක ඇහිලා මට පුදුම හිතුනා මේ ලිපිය යවලා සතියක්වත් නැතුව ඇති සතියට හැම දෙයක්ම අමතක වෙන්න පුලුවන්ද මම දැක්කා ඒ තරුණය ලිපිය කියවා බලනවා ඊට පස්සෙ මගෙ දිහා බලලා මෙහෙම දෙයක් කිව්වා.


" සමහර විට මම එවන්නත් ඇති මේ ලියුමෙ කියලා තියෙන දේවල් මේ ගමේ වෙනවා හැමෝටම හැම දෙයක්ම අමතක වෙනවා සමහර මිනිස්සු අතුරුදන් වෙනවා මටත් මේ ලිපිය එව්වා කියලා අමතක වෙලා වෙන්ඩ ඇති මට මේ දේ හොයන්න උදව් කරන්නනම් බෑ සමහර විට මටත් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා පුලුවන්නම් ඔබ මේ ගැන හොයල බලන්න.."


එහෙම කියලා තරුණයා නිවස ඇතුලට ගිහින් දොර වසා ගත්තා මම ඒ නිවස අසලට වෙලා කල්පනා කරන්න ගත්තා මම මේ ගැන හොයනවද මගෙ පාඩුවේ යන්න යනවද කියලා .


.. දැන් ඉතින් මේ ගමට ආවනේ ඔන්න ඔහේ ටික දෙනෙක් ගෙන් අහල බලනවා ආයෙ පාරක් ...


එහෙම හිතලා මම ගමේ තුන් හතර දෙනෙක් ගෙන් ආයෙ පාරක් අහල බැලුවා එහෙම කවුරුත් අතුරුදහන් වෙලා තියෙනවද කියලා එතකොට ඒ අය කිව්වෙ කවුරුවත් අතුරුදන් වෙලා නෑ හැබැයි ඒ අයගෙ නෑයො මිතුරෝ කොහෙ හරි දුර පලාතකට ගිහින් ආපහු ආවෙ නෑ කියලා එතකොටම මම ඉන්න තැනට ආපු කාන්තාවක් කිව්වා ඇයගේ අවුරුදු විස්සක් පමණ වයසැති තරුණ පුතා මේ දැන් ටිකකට කලින් අතුරුදන් වුනා කියලා ඒත් එතන හිටිය අය කියන්න ගත්තා ඇයට පුතෙක් හිටිය කියලා ඔවුන්ට මතක නැති බවත් ඔවුන් කිසිම දිනක ඇයගේ පුතාව දැක නැති බවත් .


 ඒ අහපු කතා වලට මම තුෂ්නිම්බූත වුනා පස්සෙ මම කතා කර කර හිටිය පිරිසෙන් වෙන් වෙලා අර කාන්තාවත් සමග ඇගේ නිවසට ගිහින් ඇගේ පුතා අතුරුදන් වුන තැන බලන්න තිරණය කලා .


" මගෙ පුතා හොදටම අරක්කු බොනවා බේබද්දෙක් වගේ බීගෙනමයි ඉන්නෙ සමහර දවස් වලට ගෙදර බඩු මුට්ටු පොඩිකරනවා එහෙම දවසට මම කොහොම හරි කාමරේකට දාල දොර වහනවා අදත් කරදර කරන්න ගත්තට පස්සෙ මම ඒ කාමරේ ඇතුලට දාල දොර වැහුවා ඒ කාමරේ කිසිම ජනේලයක් නෑ පුතා ටික වෙලාවක් කෑ ගැහුවා ඊට පස්සෙ එක පාරටම සද්දෙ නැති වුනා මම කාමරේ දොර ඇරලා බැලුවම මගෙ පුතා අතුරුදන් වෙලා මෙන්න මේ කාමරේ තමා අවසානෙට පුතාව දාල තිබුනේ .."


එහෙම කියලා ඒ කාන්තාව මාව කාමරයකට එක්ක ගිහින් දොර ඇරලා ඒ කාමරේ පෙන්නුවා .ඇය පෙන්වූ කාමරේ බිත්තියක් මත ත්‍රිකෝණයක් මැද ඇසක් ඇඳ තිබූ අතර එම ඇස භයානක යක්ෂයෙකුගේ ඇසක් මෙන් රක්ත වර්ණයෙන් දිස්වුනා .......


මම කාමරය ඇතුලට ගිහින් කාමරේ හැම අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කරල බැලුවේ ඒ තරුණයට නිවසෙන් පිටතට යාමට කුමක් හෝ මාර්ගයක් තිබුණද කියල දැනගන්න හැම තැනම බැලුවත් මට එහෙම සිදුරක් හෝ පිට වීමේ කිසිම දොරක් පෙනුනේ නෑ මුලු කාමරේම ඝනකම් ශක්තිමත් බිත්තිවලින් හදල තිබුනේ මම ඊට පස්සේ ගියා අර බිත්තියේ ඇඳල තිබුන භයානක ඇස ගාවට .


ඒ ඇසෙන් තුනී රස්නයක් පිට වෙනවා කියලා මට තේරුනා ඒ ඇස ළගට යනකොටම මම අත තියලා බැලුවා ඒ බිත්තියේ ඇඳල තියෙන ඇස උඩින් ඒ එක්කම මට වහා අත ඉවත් කරගන්න උනේ අධික රශ්මියක් එයින් පිට වන නිසායි ගෙහිමි කාන්තාවගෙන් නාරාසනයක් ඉල්ලා ගෙන මම ඒ ඇස තියෙන බිත්තිය ටිකෙන් ටික කඩන්න පටන් ගත්තා ගෙහිමි කාන්තාවත් මා හට කිසිවක් නොකියා සිටියේ ඇයට කෙසේ හෝ තම පුත්‍රයා සොයා ගැනීමට අවැසිව තිබුණ නිසයි .


බිත්තිය කඩන්න කඩන්න ඒ යක්ෂ ඇස තව තවත් පැහැදිලිව පෙනෙනවා විනා එය මැකී ගියේ නම් නෑ මට හිතා ගන්න බැරි උනේ කොහොමද එහෙම සිතුවමක් බිත්තියක් අභ්‍යන්තරේ පවා මැකිය නොහැකි ලෙස නිර්මාණය කරන්නෙ කියලයි තවත් ටික වෙලාවක් බිත්තිය කඩන විට එක් වරම ඒ ඇස තිබුණ තැන ගිනි ගන්නට පටන් ගත්තා බිත්තියේ සෑහෙන ප්‍රදේශයක් පුරා පැතිර ගිය ඒ ගින්න නිවී ගියේ පැය භාගයකට පමණ පසු තද කලු පාට විශාල පැල්ලමක් බිත්තිය මත ඇති කරමින්ය.


තව දුරටත් බිත්තිය හාරා බැලීමට මාහට සිතුණත් අධිකව වෙහෙස වී සිටි නිසා මම එම බිත්තිය ගැන පසු දිනට සොයා බැලීමේ අටියෙන් ගම කෙලවරේ අම්බලමට ගොස් නිදාගත්තා පසුව දා උදේම මම ගියේ අර කාන්තාව ගේ නිවස සොයාගෙනයි මා එහි යන විට සෑහෙන සෙනගක් ඒ නිවස වටා එකතු වෙලා තිබුණා මක් නිසාද යත් ඒ නිවසේ අර යක්ෂ ඇස ඇඳල තිබුණ බිත්තිය කඩා වැටී තිබුණා රැස්ව සිටි පිරිස එකිනෙකා කියන්න ගත්තේ සොරු කණ්ඩායමක් විසින් මෙය කරන්න ඇති බවයි නමුත් මා ඔවුන්ට පැවසුවේ මේ බිත්තිය පෙර දින දැවී ගිය බවත් එම නිසා යම් කිසි හේතුවක් නිසා බිත්තිය බුරුල් වී ඇද වැටෙන්නට ඇති බවත්ය එවිට ඒ නිවසේ කාන්තාව මගෙන් මෙහෙම ඇහුව. 


" ඔබ කොහොමද දැක්කේ මේ බිත්තිය ගිනි ගන්නවා "


කාන්තාව ඒ ඇසු පැනයට නම් මම විශ්මයට පත් වුනා මන්ද ඒ කාන්තාව සහ මා ඉදිරිපිට ගිනි ගත් බිත්තිය රැයක් එලි වන විට ඇයට අමතක වී ඇති නිසයි.


" ඔබට මතක නැද්ද ඔබ ඊයේ හැන්දෑවේ ඔබේ තරුණ පුතා අතුරුදන්වුනා කියලා කිව්වා ඊට පස්සේ මම ඒ ගැන හොයන්න මේ ගෙදරට ආව කියලා "

 

මම විශ්මය පිරි නෙතින් ඒ කාන්තාවගෙන් ඇහුවා 


" මොනවා එහෙම වෙන්නෙ කොහොමද මට කවදාවත් පුතෙක් හිටියෙ නෑ ඊටත් මම කසාද බැඳලත් නෑ "


ඇය පුදුමයෙන් මදෙස බලා විමසුවා මට තේරුණ විදිහටනම් මෙය නම් උභතෝකෝටික ප්‍රශ්නයකි මම පසුව ඇයගේ සහ ඇගේ පුත්‍රයා එකට සිට ගත් ඇගේ නිවසේ බිත්තියක් මත එල්ලා තිබූ ඡායාරූප කිහිපයක් ගෙන ඇයට පෙන්වා විමසුවේ මේ ඇගේ පුතා නොවන්නේද කියායි එවිට ඇය දුන් පිලිතුර වුනේ.


" මම නම් දන් නෑ මේ කවුද මාත් එක්ක ඉන්න තරුණ ලමය කියලා හැබැයි මේ මගේ පුතා නම් නෙමේ මම කසාදයක්වත් කරගත්තෙ නෑ ඉතිං දරුවෝ කොහෙන්ද මට "


එවිට අවට සිටි අයත් එක හෙලා අනුමත කලේ ඇයට දරුවන් නැතිබව හා ඇය විවාහයක්වත් කරගෙන නොසිටි බවයි.මම එතනින් මග හැර අසල තිබූ තේ කඩයක් වෙත ඇදුනේ මේ මොන වගේ හතර බීරී හොල්මන් ගමක්ද කියා සිතමින්ය එක දවසට පැය කිහිපයකින් සියල්ල අමතක වන ගමක මිනිසුන් පිරිසක් ගැන හා අමුතුම අද්භූත ආකාරයකින් අතුරුදන්වන මිනිසුන් සිටින ගමක් මා මින් පෙර කිසිම දාක අසා තිබුනේ නැත .


මොන විදිහකට සිතුවත් මේ සිද්ධ වෙන අද්භූත දේවල් වලට විසඳුමක් නොමැති නිසා මා සිතුවේ මේ ගම හා සම්බන්ධ යම් අද්භූත හොල්මන් කතා ගැන තේ කඩේ මුදලාලිගෙන් අසා දැන දැනගැනීමටයි එවිට මොකක්ම හරි පොටක් පාද ගන්න හැකිවෙයි සිතා මම කඩේ මුදලාලිගෙන් උදේ කෑම ගන්නා අතර තුර මෙහෙම ඇහුවා.


" මුදලාලි මේ ගමේ ඔය පරණ හොල්මන් කතා එහෙම ඔහේ දන්නෙ නැද්ද "


" අපොයි මම දන්නව මහත්තයෝ ඔය ඕන තරම් කතා හැබැයි ඔක්කොටම වඩා භයානකම කතාවක් තියෙනවා මේ ගමේ සිද්ධ වෙන මම ඒක කියන්නම්කෝ මේ ගම එහා කෙලවරේ ඉඳල ගමට භයානක කලුම කලුපාට යක්ෂයෙක් එනවලු අපිනම් ඇස් දෙකට දැකලා නෑ ඒ යක්ෂයා අදටත් මේ ගමට එනවලු ඊටත් මට හිතෙන්නේ මේ ගම ශාපයකට අහුවෙලා කියලා ගමේ අයට බොහොම ඉක්මනට හැම දෙයක්ම අමතක වෙලා යනවා මතක තියාගන්න අත්‍යවශ්‍ය දේවල් පවා පැය ගාණකින් අමතක වෙලා යනවා "


එහෙම කියලා කඩේ මුදලාලි නිශ්ශබ්ද වුනා ඊට පස්සෙ මම එක පාරටම දැක්කා ඒ කඩේ බිත්තියක අර යක්ෂ ඇස ත්‍රිකෝණයක් මැද ඇඳල තියෙනවා මම ඇහුවා ඒ සිතුවම කවද ඉදන්ද ඔතන තියෙන්නෙ කියලා එතකොට ඒ කඩේ මුදලාලි මට මෙහෙම කිව්ව.


" අනේ මන්ද මහත්තයෝ කවදද ඕක කවුරු ඇන්ඳද කියලවත් මම දන්නෙ නෑ..ආ මේ ඉන්නෙ මගෙ කසාද නෝන මහත්තයෝ.."


කඩයට එහා පැත්තේ තිබූ නිවසෙන් කඩය තුලට ආ කාන්තාවක් පෙන්වා මුදලාලි මට එහෙම කිව්වා කාන්තාව මදහසක් මවෙත පා යලි නිවසට ගියේ කඩය තුල තිබූ වැලි තලප පිරුනු පිඟානකුත් රැගෙනය.



ඉන්පසු මම ඒ කඩෙන් නැවත මම නැවතිලා හිටිය අම්බලමට ගිහින් නැවත හවස ඒ තේ කඩේටම ගියා ඒ කඩේ මුදලාලි හට මාව මතකවත් තිබුණේ නැත මා හට ඒ බව මනාව පසක් වුනේ මෙවැනි දෙයක් මගෙන් ඇසූ නිසයි .


" මම කවදාවත් මහත්තයව දැකලා නෑනේ මහත්තය මේ ගමේ නෙමේ නේද "


" ඇයි මම උදෙත් ආවනේ මේ කඩේට මම අර ඇඳල තියෙන ඇහැ පෙන්නල ඇහුව මතක නැද්ද මේක කවුද කවදද ඇන්දෙ කියලා ඇයි මුදලාලි මට ඔහේගෙ නෝනවත් පෙන්නුවේ ..?


මම කඩේ මුදලාලිගෙන් එහෙම ඇහුවා.


" මම දන්නෑ ඕක කවුරු ඇන්දද කියලා ඒ වුනාට මම ඔය මහත්තයවනම් මේ දැන් තමා දැක්කේ ඊටත් මම කසාද බැඳපු කෙනෙක් නෙමේ .."


මා අයාගත් මුවින් යුතුව කඩේ මුදලාලි දෙස මොහොතක් බලා කඩෙන් පිට වුනා පසු දින මා නැවත ඒ තේ කඩයට යන විට එය වසා දමා තිබුණා ගමේ කිහිප දෙනෙකුගෙන් මම විමසුවා මේ කඩේ මුදලාලි කොහෙ ගිහින්ද කියලා ඊට ගමේ අයගේ පිලිතුර වුනේ අවුරුදු ගාණක ඉදන් ඒ කඩේ වසා දමා ඇති බවයි එය අසා මා හට දැඩි කෝපයක් ඇති වුනා මොවුන් මාව ගොනෙකුට අන්ඳවනවාදෝ කියා මම ඒ කඩේ දොර කඩා විවෘත කර බැලුවා පිටුපස නිවසේ දොරත් විවර කර බැලුවා මුදලාලා සහ ඔහුගේ බිරිද අතුරුදන් වෙලා තිබුණේ සිතා ගැන්මටවත් නොහැකි ලෙසයි මට තාමත් වටහාගත නොහැකි වුනේ මේ දේවල් සිද්ධ වෙන්නේ යම් අද්භූත බලවේගයක් නිසාද නැතහොත් වෙනත් කාරණයක් නිසාද කියලයි 


ගමේ හැම කෙනෙකුගෙන්ම ඇහුවත් කිසිම තොරතුරක් මේ අතුරුදන් වීම් ගැන මට හොයාගන්න බැරි වුනා හැම දෙනාටම හැම දෙයක්ම අමතක වෙලා තිබුණේ අද්භූතජනක ලෙසයි ඒත් හැමෝටම එක දෙයක් පමණක් අමතක වී තිබුණේ නෑ ඒ තමා කැලෑවෙන් ගමට එන කලු පාට යක්ෂයා ගේ කතාව එය පමණයි ඔවුන්ගේ මතකයේ තිබුණ එකම කතාව මා සිතුවා මේ සියල්ලේම පැටලුම ලිහාගැනීමට නම් ඒ භයානක යක්ෂයාව මා කෙසේ හෝ මෙල්ල කරගත යුතු බව එම කතාව සත්‍ය වුවත් බොරුවක් වුවත් මා තීරණය කලේ මහ රාත්‍රිය නිදි වර්ජිතව ඒ යක්ෂයා එන තුරු මග බලා සිටින්නටයි .


රාත්‍රිය උදාවන විට ගම්මු කිසිවෙක් නිවසෙන් එලියටවත් ආවෙ නැත්තේ ඒ යක්ෂයාට ඇති බිය හේතුවෙන් විය හැකියි මහ මැදියම් රැයේ ගම පුරා ඇවිද ගිය මට එක් දිනක් මහා දුර්ගන්ධයක් දැනෙන්නට විය කැලේ දෙසින් ගමට එන යක්ෂයා එන විටද මෙවැනි දුඟදක් හමනවා යැයි හැමෝම පවසා තිබූ නිසා මා ඒ දුර්ගන්ධය හමන දෙසට වහා පිය නැගුවෙමි.


දුර්ගන්ධය තැන් තැන් වලින් හමන්නට පටන් ගත් නිසා මටද ඒ දුර්ගන්ධය හමන දෙසටම විවිධ පැති වලට දිව යන්නට සිදු විය අවසානේ ගම කෙලවරේ ඝන වනාන්තරයට ආසන්නව මා දුටුවේ රත් පැහැති ආලෝකයක් විහිදුවමින් වනාන්තරය දෙසට පා නගන කලුම කලු පාට මිනිස් රුවක්ය මේ සිටින්නේ ඒ ගම්මු පවසනා යක්ෂයා විය හැකි බවට මට සිතුනි ඉතින් මා තව තවත් ඒ කලු යක්ෂයාට කිට්ටු වුනා ආරක්ෂක මන්ත්‍ර මතුරමින්ම........


මම මොන තරම් කිට්ටු කෙරුවත් ඒ කලු යක්ෂයට ඒත් මට ලං වෙන්න බැරි උනා දශමයක්වත් මට තේරුනා ඒ යක්ෂයා එන්න එන්නම මගෙන් දුරස් වෙනවා මම පුලුවන් තරම් වේගයෙන් ගමන් කලා ඒ යක්ෂයට කිට්ටු කරන්න ඒත් බැරි උනා අවසානේ කැලේ මැද අමුතුම ආකාරයේ ගස් වලින් සැදුන තැනකට ඇවිත් ඒ යක්ෂයා අතුරුදන් වුනා මම හැම තැනම බැලුවත් ඌව හොයා ගන්න බැරි උනා උගෙන් පිට උන ගඳත් ඒ වෙනකොට අතුරුදන් වෙලා තිබුනා මම ඒ යක්ෂයා අතුරුදන් උන තැන ගස් ගොන්න දිහා බැලුවා 


ඒ එක ගහකවත් අතු බෙදිලා තිබුණේ නෑ හරියට ඒවා තාල වර්ගයේ ගස් වගේ තව දුරටත් එතන ඉන්න එක භයානක වැඩියි කියලා හිතපු මම හෙමීට කැලෙන් එලියට එන්න පටන් ගත්තා කැලෙන් එලියට එන මට ඇහුනා කවුදෝ රහසින් මගෙ නම කතා කරනවා "" නාරද..""නාරද""කියලා කවුදෝ භයානක කට හඩකින් දිගින් දිගටම මට කතා කෙරුවා මම වට පිට බැලුවා පිටිපස්ස හැරිල දහ දොලොස් වතාවකට වඩා බලන්න ඇති මගෙ නම කියන්නෙ කවුද බලන්න ඒත් කිසිම කෙනෙක් මම දැක්කෙ නෑ.


කැලෙන් එලියට ආවට පස්සෙත් මට තේරුනා කවුදෝ මගේ පස්සෙන් එනවා වගේ ඒත් මට එන කෙනෙක් පෙනුනේ නෑ ආපහු අම්බලමට ගිය මම මගේ රෙදි බෑග් එක උඩ තියෙන දෙයක් දැකලා ගැස්සිලා ගියා මගේ රෙදි බෑග් එක උඩ තිබුනේ මීට අවුරුදු ගාණකට කලින් තේගිරිස් ගුරුන්නාන්සෙට මම තෑගි කල අත් ඔරලෝසුව මට හිතා ගන්න බැරි උනේ කොහොමද ඒ ඔරලෝසුව මෙතනට ආවේ කියලා මට හොදට මතකයි ඒ ඔරලෝසුව රාගල ගෑණු ලමයෙකුගේ කලු කුමාර දෝෂයකට ශාන්ති කර්මයක් කරද්දි එක පාරටම මතු වුන කලු කුමාරයා තේගිරිස් ගුරුන්නාන්සෙ ලගට උන්දෑව මරන්න පනිද්දි මම ත්‍රිශූලයෙන් ඇන්නා ඒ පාරත් කාගෙන කලු කුමාර යක්ෂයා තේගිරිස් ගුරුන්නාන්සෙගෙ අත් ඔරලෝසුවත් අරගෙනම තමා අතුරුදන්වුනේ ඒ බලගතු ත්‍රිශූලය ඇනුන යක්ෂයෙක් ආයෙ ආපහු එනව බොරු කෙලින්ම නරකාදියේ තමා ඉතින් එහෙම එකේ කොහොමද මේ ඔරලෝසුව විතරක් ආවේ මම හිතුවා මේ එන්න එන්නම පැටලෙන නූල් බෝලයක් වෙලා තියෙන ප්‍රශ්නය විසඳන්න මට තනියම බැරි නිසා ආපහු ගිහින් තේගිරිස් ගුරුන්නාන්සෙව එක්කගෙනම එන්න.


බෑග් එක උඩ තිබුණ ඔරලෝසුවත් මගෙ කලිසමේ සාක්කුවට දාගෙන මම ඒ ගමෙන් ආපහු මගේ ගමට ගියා මම ඉස්සරලාම ගියේ තේගිරිස් ගුරුන්නාන්සෙගෙ ගෙදර ඒ ගෙදර මට වෙන් කරල තිබුන කාමරයට යනවත් එක්කම කවුදෝ මගේ කරට අත තියලා මාව නැවැත්තුවා.


" තමුසෙ කවුද "


මට පිටිපස්සෙ ඉඳලා තේගිරිස් ගුරුන්නාන්සෙ මගෙන් එහෙම අහද්දි මම පුදුමයට පත් වුනා .


" ගුරුන්නාන්සෙ මේ මම නාරද මොකද මේ මාව කවදාවත් දැකලා නෑ වගේ "


මම එහෙම කිව්වා.


" මම දැකලා නෑ තමුසෙව කවදාවත් මම දන්න නාරදයෙකුත් නෑ ඔහොම මනුස්සයෙකුගේ ගෙදරට එනවද ඕයි තමුසෙ පුදුම මිනිහෙක්නෙ "


තේගිරිස් ගුරුන්නාන්සේ කෝපයෙන් මදෙස බලා බැන වැදීමට පටන් ගත්තා ගුරුන්නාන්සෙටත් මට හිතෙන හැටියට මතකය අමතක වෙලා ගිහින් කියලා මට තේරුනා .මම හිතුවේ අර ගමේ විතරයි එහෙම අමතක වෙන දේ වෙන්නෙ කියලා දැන් බලන් ගියාම මගෙ ගමෙත් ඒකමනෙ වෙන්නෙ ගුරුන්නාන්සෙ මට කතා කරන්නේ ජීවිතේටවත් මාව නොදැකපු ගාණට .


" හරි ගුරුන්නාන්සෙ මාව අදුරන් නැති උනාට කමක් නෑ පුලුවන්නම් මගෙත් එක්ක එක ගමකට යන්න එන්න පුලුවන්ද ..?"


මම ඔහුගෙන් ඇහුවා.


" මට මේ ටිකේ සෑහෙන්න වැඩ තියෙනවා මට ඔය කොහෙවත් එන්න විදියක් නෑ තමුසෙ යනවා එහා ගමේ මගෙ ගෝලයෙක් ඉන්නවා වික්ටර් කියලා මිනිහ හොදයි මිනිහට බැරි උනොත් මාව මුණ ගැහෙන්න එනවා "


එහෙම කියලා ගුරුන්නාන්සෙ ගෙදර දොරත් වහලා දාල පාර දිහාට ගියා මම හිතුවා මම ගිහින් වික්ටර්ව හම්බවෙන්න ඕනෙ කියලා මොකද මම තේගිරිස් ගුරුන්නාන්සෙගෙ හොඳම ගෝලයා වෙන්න කලින් වික්ටර් තමා හොඳම ගෝලයා වෙලා හිටියේ වික්ටර් පස්සෙ මන්ත්‍ර ගුරුකම් තනියම කරන්න ගත්තාට පස්සෙ තමා මම වික්ටර්ගෙ තැන ගත්තේ මගෙ හොඳම යාලුවෙක් වෙලා හිටිය වික්ටර්ට නම් මාව අමතක වෙලා නැතුව ඇති කියලා මම හිතුවා ඉතින් මම පයින්ම ගියා වික්ටර්ගේ ගෙදර මගෙ ගමේ හැමෝම මාව දැක්කත් ඒ කිසිම කෙනෙක් මාව අදුරගත්තෙ නෑ කියලා මට හොදටම තේරුනා 


මගෙ නම මගේ ගම මගේ යාලු මිත්‍රාදීහු සියල්ලන්ගෙන්ම මතකයෙන් මගේ නම මැකිලාම ගිහින් මම කොහොමද මේ විකාර ප්‍රශ්නයෙන් ගැලවෙන්නේ කොහොමද ආයෙ මගේ නෑදෑ මිතුරන්ට මං ගැන මතකය ඇති කරන්නේ මේව කල්පනා කරලා මගෙ ඔලුව විකාරයක් වෙලා තිබුණේ වික්ටර් ගෙ ගෙදරට යනකොට වෙනද වික්ටර්ගෙ අම්ම තාත්තා මාව ආදරයෙන් පිලිගත්තත් අද ඒ අයට මාව ආගන්තුකයෙක් වෙලා තිබුණා වික්ටර්ගේ දෙමව්පියන්ගෙන් මම දැනගත්තේ වික්ටර් කොහේදෝ දවස් හතරපහකට යනවා කියලා ගෙදරින් පිට වුන බවයි 


ඒක දැනගත්තට පස්සෙ මම හිතුවා ආයෙත් අර ගමට යන්න ඕනෙ කියලා මේ ප්රශ්නෙ පටන් ගත්තෙ එතනින්නම් විසදුමත් එතන ඇති කියලා මට හිතුනා ඉතින් මම ආයේ පාරක් ගියා ඒ ගමට මෙවර ඒ ගමට යනකොට අර තේ කඩේ කරමින් හිටියේ වෙන කවුදෝ පවුලක් ඔවුන්ගෙන් මට දැනගන්න ලැබුනේ ඒ කඩේ අවුරුදු තිහක් තිස්සේ ඔවුන් කරනා බවයි ඒ වගේම අර බිත්තිය කඩාවැටුන ගෙදර එතන තිබුනේ නෑ ගමේ පාසලට එහා පැත්තේ තැබෑරුමකුත් දාල තියෙනවා මම දැක්ක මුලු ගමම එක දවසට අමුතුම විදිහට වෙනස් වෙලා තිබුණ හිතා ගන්නවත් බැරි විදිහට. ගමේ හිටිය කිසිම කෙනෙක් මාව එච්චර දවසක් ඒ ගමේ ඉදලත් අදුරගත්තෙ නෑ අමතක වීමේ ශාපය ඒ ගමෙන් කවදාවත් නැතිවෙන්නැති වෙයි කියලා මට ගමේ ඇවිද යනකොට හිතුන .


මම නැවතිලා හිටිය අම්බලමට ගියාම මට මගේ ඇස් අදහගන්න බැරි උනා එතන මගේ ගමන් මල්ල තිබුණ ඒ ගමන් මල්ල උඩ අර අත් ඔරලෝසුවත් තිබුණ මම සාක්කුවට අත දාල අර ඔරලෝසුව අරන් බැලුවා දෙකම එක වගේ බෑග් දෙකත් එක වගේ මොන පිස්සුවක්ද මේ වෙන්නේ එක්කො මම හීනයක් දකිනවද එහෙමත් මට හිතුන පහත් වෙලා ඔරලෝසුව දිහා බලනකොට මම දැක්කා කාගෙදෝ හෙවනැල්ලක් බිම සටහන් වෙලා තියෙනවා ඒ කියන්නෙ මගේ පිටි පස්සෙ කවුරු හරි ඉන්නවා කවුද ඉන්නේ කියලා බලන්න මම එක පාරම පිටි පස්සට හැරිල බැලුවා ඒ එක්කම මාව තිගැස්සිලා ගියා මට පිටිපස්සෙ හිටිය කෙනා දැකලා......


මගෙ පිටිපස්සෙ හිටියෙ වෙන කවුරුවත් නෙමේ වික්ටර් තමා ඇවිල්ල හිටියේ මට මහා පුදුමයක් වුනේ වික්ටර් කොහොමද මාව හොයා ගෙන මේ ගමට ආවේ කියලා මම විශ්මය රැඳි නෙතින් වික්ටර් දිහා බලන් හිටියා .


" තමුසෙට පුදුම ඇති නේද නාරද මම මෙහෙට ආපු එක ගැන "


" ඒ..ඒකනම් ඇ..ඇත්ත වික්ටර් තමුසෙ කොහොමද මේ ගම හොයා ගත්තේ ..?"


" ඔක්කොටම කලින් මට කියනවා නාරද තමුසෙට වෙලා තියෙන අකරතැබ්බෙ මොකක්ද කියලා ..?"


ඊට පස්සෙ මම මේ ගම සහ මම මේ ගමට ඇවිත් උන හැම දේම වික්ටර්ට කිව්වා අකුරක් නෑර.


" තමුසෙ දන්නවද කාලය එක එක විදිහට වෙනස් වෙන තැනක් ගැන එහෙනම් කොහෙ හරි ලියල තියාගන්නවා මේ ගම ඒ වගේ තැනක් මෙතන කාලය ගත වෙන්නෙ මහ අමුතුම විදිහට මම දැන් දවස් දෙක තුනකට විතර කලින් තමුසෙ ගැන භයානක හීනයක් දැක්කා පස්සෙ මට හිතුනා තමුසෙ ගැන තේගිරිස් ගුරුන්නාන්සෙ උගන්නපු අංජනම් සාස්තරෙන් හොයල බලන්න එතකොට තමා මම දැන ගත්තේ මේ තැන ගැන තමුසෙ පත්වෙලා ඉන්න භයානක තත්වෙ ගැන හරි වැඩි කතා ඕනෙ නෑ අපි යමු අර කලු යක්ෂයා අතුරුදන් වුන ගස් ගොල්ල ගාවට "


ඊට පස්සෙ මම වික්ටර් වත් එක්කරගෙන ගියා එදා රෑ කලු යක්ෂයා අතුරුදන් වුන ගස් ගොල්ල ගාවට ඊට පස්සෙ වික්ටර් අහල පහල දිරාගිය ගස් කොටන් අතු ඉති දාල එතන මහා ගින්නක් ඇති කලා .


" යක්ෂය ගේ වාසස්ථානය විනාශ කෙරුවම ඌ නිකම්ම එලියට එයි "


එහෙම කියපු වික්ටර් සිනාසෙමින් ඒ මහා ගිනි ජාලාව දිහා බලන් හිටියා වැඩි වෙලාවක් ගියේ නෑ රතුම රතු ඝන ලෝගුවකින් හිස වසාගෙන ඒ කලු යක්ෂයා අපි ඉදිරියේ පෙනී සිටියා .


" හහ් කලු කුමාර යක්ෂය උඹ කොහොමද ආයෙ පාරක් ආවේ "


මට යක්ෂයාව දැකපු ගමන් එහෙම කියවුනා මම එක පාරක් නරකාදියට ඇරපු කලු කුමාර යක්ෂය ආපහු ඇවිත් මේකනම් කොහොමටවත් වෙන්න බෑ කියලා මට හිතුනා.


" නාරද තෝ මාව නරකාදියට ඇරිය තෝ දන්නවද මම අවුරුදු ගාණක් නරකාදියේ දුක් වින්ද තොට ශාප වෙනව මට කරපු දේට අවසානෙ මම නිදහස් වුනා යකෝ මුලින්ම ආවේ තොගෙන් පලිගන්න දැනටමත් මම තොගේ හැම යාලු මිත්‍රාදී හැමෝම නැති කෙරුවා මට නැති වුන කාලය මම තොගෙත් නැති කරනවා තාම මේ සෙල්ලම ඉවර නෑ එහෙම ලේසියට මම සෙල්ලම ඉවර කරන්නෙත් නෑ "


ගොරහැඬි හඩෙන් කලුකුමාර යක්ෂයා මගෙ දිහා වියරු ලෙස බලාගෙන කිව්වා.


" ඒ ඉතින් උඹට අපි යහතින් ඉන්න දුන්නොත්නෙ ලෑස්ති වෙයන් ආයෙත් නරකාදියටම යන්න"


වික්ටර් ඒ විදිහට යක්ෂයා දිහා බලාගෙන කෝපයෙන් කෑ මොර දුන්නා. එතකොටම කලු කුමාර යක්ෂයා මහ විශාල දැවැන්ත රූස්ස ගසක් දෙසට තම අත දිගු කලා පමණයි ඒ ගසේ කඳේ ත්‍රිකෝණයක් මැද යක්ෂ ඇසක් ඇඳුනේ ඉබේටමයි.


" උඹලට මේ පාර මාව විනාශ කරන්න බෑ මගෙ ශක්තිය දැන් තිබ්බටත් වඩා දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ මාව විනාශ කරන්න කලින් මම තොපි දෙන්නවම යවනවා ආපහු එන්න තියා හිතන්නවත් බැරි තැනකට "


ඒ විදිහට කියපු ඒ කලු කුමාර යක්ෂයා එක පාරටම අතුරුදන් වුනා වික්ටර් මම හැම තැනම බැලුවත් අපිට යක්ෂයාගේ ඡායාවක්වත් දකින්න බැරි වුනා ඊට පස්සෙ වික්ටර් අර යක්ෂ ඇස ලඟට යනවත් එක්කම කලුකුමාර යක්ෂයා එක පාරම වික්ටර් ගේ පිටි පස්සෙන් මතු වෙලා වික්ටර්ව අර යක්ෂ ඇස දෙසට තල්ලු කලා වික්ටර් ඒ යක්ෂ ඇසේ වදිනවත් එක්කම ඔහු ඇස ඇතුලට ඇදිලා ගිහින් නොපෙනී ගියා .


" දැන් ඉතින් ඌට කවදාවත් ආපහු එන්න බෑ නාරද දැන් තොගේ වාරේ"


එහෙම කියපු කලු කුමාර යක්ෂයා මා ලගට වියරු ලෙස සිනාසෙමින් ආවා මම මගේ ආරක්ෂාවට මන්ත්‍ර එකින් එක කිව්වත් වැඩක් වුනේ නෑ කලු කුමාර යක්ෂයා ගේ බලය මට හිතාගන්නවත් බැරි විදිහට වැඩි වෙලා මෙවර ඌව පරාජය කරන එක ලේසි පාසු වැඩක් නොවන බව මට වැටහුනා මම අසරණ ලෙස මගේ මරණය ලගා කරවන ඒ යක්ෂයා දෙස බලාගෙන සිටියා තවත් තත්පර ගාණකින් මගේ මරණය සිද්ධ වෙයි මම මගේ සියලු බලාපොරොත්තු අත් හැරලා ඇස් තද කරල වසා ගත්තා.


" මම උඹව දැන්ම මරන්නෑ උඹවත් මම කාලය අතර අතරමං කරණවා "


මගේ කණ ලගට මුව ලං කරපු කලු කුමාර යක්ෂයා භයානක හඩින් එහෙම කිව්වා ඒ එක්කම මාව උගේ එක අතකින් උස්සලා අර යක්ෂ ඇස දෙසට මගේ සිරුර දමා ගැසුවා මට මතක ඒ ගසේ ඇඳ තිබූ ඇස මත මගේ සිරුර වදිනවා පමණයි ඒ එක්කම මාව කොහෙටදෝ ඇදීලා ගියා හැම තැනම ඝන අන්ධකාරය පමණයි තිබ්බේ ඒ අන්ධකාරය අතරින් මාව වේගයෙන් කොහේටදෝ ඇදිල යනවා මම කොහෙට යයිද මට ආයෙ පාරක් මගේ ජීවිත කාලයට එන්න බැරිවෙයිද මගේ හිසට මහා බරක් දැනෙනවත් එක්කම මට සිහි නැති වුනා.


************************************

වික්ටර්ගේ කතාව ****************


මගෙ නම වික්ටර් මම තේගිරිස් ගුරුන්නාන්සෙගෙ හොඳම ගෝලයෙක්. නාරද කියන මගෙ යාලුවෙකුට වුන කාලය අතර සිද්ධ වෙන අකරතැබ්බයකින් ඔහුව බේරගන්න ගිහින් කලු කුමාර කියන යක්ෂයා මාව යක්ෂ ඇසක් ළඟට තල්ලු කලා ඒ එක්කම මම ඒ ඇහැ ඇතුලට ඇදීල ගියා 


ඝන අන්ධකාරයක පාවෙවී ගිය මම එක් තැනක නතර වුනා මට හුස්ම ගැනීමත් අපහසු වීගෙන යනව කියල තේරුන මගේ සිරුර වටෙම මඩ සහිත පස් ගොඩකින් හිරවෙලා තිබුණේ එහෙට මෙහෙට අත පය හොල්ලල ඒ පස් ගොඩ හාරගෙන මම පොලොවෙන් උඩට මතු වුනා .


වට පිට බලනකොට මුලු පරිසරයම පාලු මූසල ගතියක් තිබුණේ මට ගෙයක් දොරක් පේන තෙක් මානෙක තිබුනේ නෑ කලු කුමාර යක්ෂා මේ කොහෙටද මාව එව්වෙ මට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා ඊට පස්සෙ මම තීරණය කලා කොහොම හරි නාරද ව හොයා ගන්න ඕනෙ කියලා මොකද මගෙ මන්ත්‍ර බලයයි නාරදගේ මන්ත්‍ර බලයයි එකතු කරල තමා මේ යක්ෂයා එක්ක සටන් කරන්න වෙන්නෙ උගේ බලය වැඩියි මම කරපු ලොකුම මෝඩකම තනියම ඒ යක්ෂයා එක්ක සටනට ගිය එක කියලා දැනටමත් මට තේරිලා තියෙන්නේ .


අරමුණක් නැතිව මම ඔහේ එක දිශාවකට ඇවිදගෙන ගියා මට හිතෙන හැටියට කිලෝ මීටර් දහයක් විතර ඇවිදගෙන යන්න ඇති එක පාරටම මම දැක්කා මනුස්සයෙක්ව ඔව් මනුස්සයෙක් මට පුදුම සතුටක් ඇති වුනේ මොකද මම හිතුවේ කවදාවත් මට මනුස්සයෙක් දකින්න නොලැබෙයි කියලා මම ඒ මනුස්සයා ලගට ගිහින් මේ විදිහට කතා කෙරුවා.


" උන්නැහේ මේ පැත්තේ ගමක් තියෙනවද"?


ඇඟ පුරා මඩ තවරගෙන හිටිය මා දිහා අමුතු විදිහට බලපු ඒ පුද්ගලයා මෙහෙම කිව්ව. 


" ඔව් මෙහෙම දිගටම ගියාම හම්බ වෙනව හොල්මන් වලව්ව ගම "


" බොහොම ස්තුතියි උන්නැහේ එතකොට මට කියන්න පුලුවන්ද මේ මොන අවුරුද්ද ද අද දිනේ කීයද කියලා "


" අවුරුද්ද ක් දිනයක් දන් නැති ඔහේ මොන ලෝකෙන්ද ආවේ 1808 මාර්තු 23 අද දවස "


සමච්චලයට සිනා වෙමින් එහෙම කියලා ඒ පුද්ගලයා මා පසු කර ඉදිරියට යන්න ගියා දිනය සහ වර්ෂය ඔහු ගෙන් දැන ගත්තාට පසු මම හිටියේ තුෂ්නිම්බූත වෙලා මම කලු කුමාර යක්ෂයා එක්ක සටන් කලේ 2000 වර්ෂයේ දැන් මාව ඒ යක්ෂය 1808 අවුරුද්දට කාලය හරහා එවලා මාව නොමරා ඇයි ඒ යක්ෂයා මේ වගේ කාලයකට මාව එව්වෙ මම කොහොමද දැන් නාරදව හම්බ වෙන්නෙ මම කොහොමද ආයේ 2000 වර්ෂයට ආපහු යන්නේ ඒ වගේ ප්‍රශ්න රාශියකින් මගෙ ඔලුව විකාර වුනා ඊට පස්සෙ මම නිකමට වගේ මගේ කලිසමේ සාක්කුවට අත දැම්ම සාක්කුවේ අත් ඔරලෝසුවක් තිබිල මට හම්බ වුනා ඒ අත් ඔරලෝසුවත් අර නාරදට අම්බලමේ තිබිල හම්බවුන ඔරලෝසුව වගේමයි එකම ජාතියේ අත් ඔරලෝසු තුනක් තිබීම මොන වගේ විකාරයක්ද කියලා මට තේරුනේ නෑ මගේ සිතුවිල්ල එක පාරටම බිදිල ගියේ කවුදෝ රහසින් මගේ නම කියනවා ඇසුන නිසයි මම ඒ හඩ ආව පැත්තට හැරිලා බැලුවා 


පිටිපස්සෙ විශාල ගහක ඇදල තිබුණ ත්‍රිකෝණයක් මැද ඇඳල තිබුණ යක්ෂ ඇසක් අසල සිටගෙන සිටි මනුස්ස පෙනුමක් තිබූ කකුල් හතරකින් සිට ගෙන සිටි අද්භූත මිනිසෙක් සිටියා ඔහු මහා ගොර හැඩි හඩකින් මෙහෙම කිව්වා.


"" වික්ටර් මම දන්නවා උඹ මේ කාලයට අයිති නෑ කියලා උඹ අයිති අනාගතයට උඹව මේ කාලයට එවල තියෙන්නේ හේතුවක් ඇතුව ඉස්සරහට උඹට භයානක දේවල් සිද්ධ වෙනවා ""


එහෙම කියලා ඒ ඇස මතින් ඔහු අතුරුදන් වුනා මම ඒ ඇස ලගට ගියා මටත් ආපහු යන්න පුලුවන්ද බලන්න ඒත් එතන ආපහු මගේ කාලයට යන දොරටුවක් තිබුණේ නෑ මම සෑහෙන වෙලා එතනට වෙලා බලන් හිටියා ඒ අද්භූත මිනිසා යලි එතනින් ඒවි කියලා ඒත් පැය ගාණකට පස්සේ ඒ යක්ෂයාගේ ඇසත් කලු පැල්ලමක් ඉතිරි කරමින් නැතිව ගියා .


තව දුරටත් එතන සිටීමෙන් තේරුමක් නොවන නිසා හෙමින් හෙමින් මම මගදි මට හමුවුන මනුස්සයා කියපු ගම දිහාට ගියා ,හොල්මන් වලව්ව ගම ,මහා අමුතුනමක් තියෙන ගමක් කියලා මට හිතුණා ගමට යන අතර මග තිබුණ වෙල් යායක කුරුල්ලෝ එලවා දැමීමට සාදා තිබූ පඹයෙකුගේ රෙදි ගලවා ගෙන අසල ඇලකින් මගේ ශරීරය සෝදාගෙන අර පඹයාගේ ඇදුම් ටික මම ඇඳගත්තා ඊට පස්සෙ ඒගමට ඇතුල් වෙලා මම අතරමං වෙලා ඉන්න කෙනෙක් කියලා මගේ දුක ඒ ගමේ අයට කිව්වට පස්සේ ඒ ගමේ අය කිව්ව ඒ ගමේ මම කැමති කාලයක් නතර වෙන්න පුලුවන් කියලා ටික දවසක් ගත වුනාට පස්සෙ මට ඒ ගමේ අයගෙන් දැන ගන්න ලැබුණා මට දැන ගන්න සහ මට අවශ්‍යම කරණ දේක තොරතුරු ඒ තොරතුර සත්‍ය එකක්නම් මට සමහර විට නාරද ව හම්බ වෙන්න පුලුවන් වෙයි කියලා මට හිතුණා ඒත් ඒ තොරතුර සොයා යාම මොන තරම්නම් භයානකද කියලා මම දැනගෙන හිටියේ නෑ.....

මට දැන ගන්න ලැබුන තොරතුර තමා මේ ගමේ කාලය හරහා අතීතයට සහ අනාගතයට ගමන් කරණ පුද්ගලයෙක් සිටින බවයි නමුත් ඔහුව මුණ ගැසීම ඉතාම භයානක බව ගමේ මිනිස්සුන්ගේ අදහස වුනා ගමේ අය කියන විදිහට ඒ කාලය අතර ගමන් කරණ මිනිසා කිසිම මනුෂ්‍යයයෙක්ව දැකීමට කැමති නැති මනුෂ්‍යයෙක් නිකමට හරි ඔහු දැක්කොත් ඒ මනුෂ්‍යයාව ඒ මොහොතේම අතීතයට හෝ අනාගතය අතර අතරමං කරනවාලු .


ඉතින් ඒ කාලය අතර ගමන් කරන්නා කෙතරම් භයානක අයෙක් වුවත් මට ඔහුව මුණ ගැසීම අවශ්‍යම වුනා මොකද මට නාරදව හම්බ වෙන්නනම් නාරද සිටිනා කාලයට ගොස් ඔහුවත් රැගෙන යලි අප දෙදෙනාගේ ජීවත් වූ සැබෑ කාලයට නැවත යාමට අනිවාර්යයෙන්ම ඒ කාලය අතර ගමන් කරණා පුද්ගලයාව හමු වීම අත්‍යාවශ්‍ය කාරණයක් වුනා ගමේ හැමෝගෙන්ම මම ඇහුවා ඒ කාලය අතර ගමන් කරණා පුද්ගලයාව මට හමු වීමට අවශ්‍ය බව නමුත් ඔවුන්ගේ අදහස වුනේ එය ඉතාම භයංකර සහ මගේ ජීවිතය පවා අහිමිව යා හැකි කාරණයක් වන නිසා ඔහු සිටිනා තැන ඔවුන්ට පැවසිය නොහැකි බවයි මා කෙතරම් ඇවිටිලි කලත් ඔවුන් කිසිවක් මට පැවසුවේ නැහැ

එක් දිනක් මා ගමේ ඇවිද නොගිය පැත්තකට ඇවිද යනකොට විශාල පාලුවට ගොස් අතහැර දමන ලද වලව්වවක් දැක්කා මට හිතුනා ඒ වලව්ව ඇතුලට යන්න .


වලව්ව ඇතුලට යනවත් එක්කම ඒ වලව්වේ දොර ඉබේම ඇරුණේ මාට හරියට ඇතුලට එන්න කියනවා වගේ මම ඊට පස්සෙ ගියා වලව්ව ඇතුලටම වලව්ව ඇතුලේ බිත්තිමත එල්ලා තිබූ චිත්‍ර කිහිපයක් දැක මගේ ඇස් විසල් වුනා ඒ චිත්‍ර කිහිපයක තිබුණේ මගේ රුව සිත්තම් කර අනෙක් චිත්‍ර වල කලුකුමාර යක්ෂයාව සිත්තම් කර තිබුණා මට සිතා ගත නොහැකි වුනේ කොහොමද මේ වගේ අතීත කාලයක මගේ රූපය සහ කලුකුමාර යක්ෂයාගේ රූපය සිත්තම් කර තිබෙන්නේ කියා මගේ සහ කලුකුමාර යක්ෂයාගේ සම්බන්ධය කුමක්ද මෙවැනි දේවල් කල්පනා කරමින් සිටින විට එක් වරම තුනී නිල් පැහැති දුමාරයක් මුලු වලව්ව පුරාම ගලා ගියා ඒ දුමාරය අතර අතීතයේ සහ අනාගතේ ඇදුම් වලින් සැරසුන මිනිසුන් ගේ ආත්ම ඔහේ පා වෙවී තිබෙනවා මට පෙනුනා මා ඒ ආත්ම සමග කතා කරන්න උත්සහ කලත් එය මට නොහැකි වුනා මට තේරුනා මේ සියලු ආත්ම මේ වලව්වට එවන්නේ කලුකුමාර යක්ෂයා බව කාලය අතර මිනිසුන්ව යැවිය හැකි එකම යක්ෂයා බවට කලුකුමාර යක්ෂයා පත් වී ඇති බව මේ වන විට මා හොදින්ම දැන සිටියා තව දුරටත් වලව්ව සෝදිසි කරනකොට මම දැක්කා ඒ වලව්වෙ එක කාමරයක රූස්ස ගස් වගයක් බිත්ති මත සිතුවම් කර තිබෙනවා ඒ ගස් වල එකම එක අතු බෙදීමක්වත් තිබුනේ නෑ මට මතක් වුනා මට සහ නාරදට කලුකුමාර යක්ෂයාව හම්බවුන තැනත් මේ විදියේම අමුතුම ගස් වගයක් තිබුණා ඒ වගේම ඒ එක ගහක තිබුණ විදිහටම වලව්වේ බිත්තිය මත සිතුවම් කර ඇති එක ගහකත් ත්‍රිකෝණයක් මැද යක්ෂ ඇසක් සිතුවම් කර තිබෙනවා එය දැක මට සිතුන එකම දේ නම් කාලය හරහා ගමන් කිරීමට යක්ෂ ඇස පමණක් නොව මෙවැනි ආකාරයේ අමුතුම වර්ගයේ ගසකුත් අවශ්‍ය බව .


අවසානේ මා තීරණය කෙරුවා මේ ගමේ ඉන්න ඒ කාලය අතර ගමන් කරණ පුද්ගලයා ඉන්න තැන ගමේ මුලාදෑනියාගෙන් හොදින් හෝ නරකින් අසා දැන ගන්නවා කියා මම මොහොතක්වත් ඒ වලව්වෙ නොසිට එයින් පිට වී ගම් මුලාදෑනියාව හමු වී කාලය අතර ගමන් කරණ පුද්ගලයා සිටින තැන විමසුවා ඔහු එය මට කීමට ප්‍රතික්ශේප කරණ විට මගේ මන්ත්‍ර බලයෙන් ගම්මුලාදෑනියාව භීතියට පත් කලා එවිට ඔහු මරණ බයටම මට පැවසුවා ඒ කාලය අතර ගමන් කරන්නා සිටින ස්ථානය ගමේ එක් පැත්තක ඇති ඝන කැලෑවේ ඒ මිනිසා සිටින බව ගම්මුලාදෑනියාගෙන් දැන ගත්තාට පසු මම වහා ඔහුව සොයාගෙන කැලෑව ඇතුලටම ගමන් කලා .


සෑහෙන දුරක් කැලෑව ඇතුලට ගමන් කලාට පසු මට දක්නට ලැබුනේ අර අමුතුම ආකාරයේ ගස් ගොන්නක්ය මා ඒ ගස් ගොන්න අසලටම ගියා එවිට මා පිටු පසින් යම් අතු බිඳෙන හඩක් ආ නිසා එදෙස බැලූ මට දක්නට ලැබුනේ මට පිටු පසින් සිටගෙන සිටින සුදු ලෝගුවක් පෙරවගෙන සිටින කාලය අතර ගමන් කරණ පුද්ගලයාය මා ඔහුව එක්වර එසේ හදුනගත්තේ ඔහු මෙලෙස මට කතා කල නිසාය.


" වික්ටර් උඹ මේ කාලයේ ඉන්න ඕන එකෙක් නෙමේ උඹට අයිති 2000හ වර්ෂයයි ඇයි මොකටද උඹ මෙහෙට ආවේ ...ඕහෝ මට පේනවා උඹ ආව නෙමේ උඹව මෙහෙට එව්වා අපගේ උත්තම කලු කුමාර යක්ෂයා එතුමන්ට උඹෙන් පලිගැනීමට අවශ්‍ය වී තිබෙනවා දැන් ඉතින් උඹට අයිති මේ කාලයයි යලි ආපසු යාමට නොහැකියි "


" මට මගේ කාලයට යාමට අවශ්‍යයි මට උදව් කරපන් "


එලෙස මා ඔහුට කිව්වා.


" උඹටත් නාරදට වගේ ආපසු යාමට අවශ්‍යවී තිබෙනවා අපූරුයි නමුත් මා උදව් කරන්නේ නෑ උඹලට කොහොමටවත් "


" උඹ ..කොහොමද නාරදව දන්නේ මට කියපන් උඹ කොහොමද දන්නේ ...හොදයි මට කියපන් මාව නාරද සිටිනා කාලයට ආපසු යැවීමට උඹට අවශ්‍ය මොනවද කියලා "


" හොදයි මම නුඹව ආපසු යවනව ඒ වෙනුවට මට අවශ්‍ය නුඹේ මතකයයි නුඹ කැමතිද මා හට නුඹේ මතකය ලබා දීමට "


මට තේරුනා ඒ දේනම් කොහොමටවත් මට කල නොහැකි බව මගේ මතකය නැති උනොත් මම කොහොමද නාරදට උදව් කරන්නේ මට අමතක වෙයි මම කවුද කියන එකත් එනිසා මම හිතුවා මොහුගෙන් හොදින් කිසිම දෙයක් ලබාගත නොහැකි බව මාගේ ගුරුවරයා වූ තේගිරිස් ගුරුන්නාන්සෙ මට ඉගැන්වූ භයානකම මන්ත්‍රය වූ අග්නි මන්ත්‍රය මතුරමින් මා අවට තිබූ අමුතු ගස් එකින් එක දවා අලු කිරීමට පටන් ගත්තා.


ගිනිගෙන දැවෙන ඒ අමුතු ගස් වර්ගය ගිනි ගෙන දැවෙන විට කාලය අතර ගමන් කරන්නා කලබලයට පත් වී මා හට ඇවිටිලි කරන්නට වුනේ එය නතර කර දමන ලෙසයි ඔහු පොරොන්දු වූවා කිසිම කොන්දේසියක් නැතිව මාහට කාලය අතර ගමන් කිරීමේ මන්ත්‍රය උගන්වන බවයි එවිට මා ගස් දවා අලු කිරීමේ කටයුත්ත අවසන් කෙරුවා පොරොන්දු වූ ආකාරයටම ඔහු පැය හතරකින් පමණ කාලය අතර ගමන් කිරීම මට ඉගැන්වූවා .


ඔහු ඉගැන්වූ මන්ත්‍ර බලයෙන් මා ඒ අමුතු ගසක් මත යක්ෂ ඇසක් සිතුවම් කලා ඒ සමගම මා ඒ යක්ෂ ඇස දෙසට ඇදීල ගියා මා ඒ ඇස දෙසට ඇදෙන විට කාලය අතර ගමන් කරන්නා මහ හඩින් සිනාසෙමින් මෙලෙස පැවසුවා.


" උඹ යන්නේ නාරද ඉන්නා කාලයටයි උඹට ඌට කවදාවත් ආපහු එන්න ලැබෙන්නෙ නෑ ගිහිල්ලම බලපන් උඹට තේරෙයි වැඩි දවසක් යන්න කලින් "


ඝන අන්ධකාරයක මා තනිව පැය ගාණක් පාවෙවී යන්න ඇති මා දෑස් පියා ගත්තා එක්වරම පාවෙවී යාම නතර වී ආලෝකය දසත පැතුරුන බව මට අවබෝධ උනා මා දෑස් ඇර බලන විට මා සිටියේ කාන්තාරයක් බඳු ප්‍රදේශයකයි ඈතින් පෙනුන ගොඩනැගිලි රාශියක් මම හෙමින් හෙමින් ඒ දෙසට පා නැගුවා පැය ගාණකට පසු මා එතනට ලගා වුනා මහා විශාල නගරයක් මට දක්නට ලැබුනා මට සිතුනේ මේ නගරයේ කෙසේනම් මා නාරදව සොයා ගන්නද කියායි 


නගරය පුරා ඒ මේ අත ඇවිද ගිය මම දැක්කේ තැන් තැන් වල සවි කර ඇති විශාල තිර මත අත්‍යාවශ්‍ය අපරාධ කාරයෙක් යනුවෙන් සටහන් කර ඇති නාරදගේ ඡායාරූපයක්ය එය දැක මාගේ දෑස විසල් වුනා එසේනම් නාරද මේ නගරයේ සිටින අපරාධ කාරයෙක් මම නගරයේ ජීවත් වෙන මනුස්සයෙක්ගෙන් අසා දැනගෙන අපරාධ කාරයින් ජීවත් වෙන ආපරාධකාරයින්ගේ රාජධානියට පිටත් වුනා .


ඒ නගරය කෙලවරේ ඇති අතහැර දැමූ ළිදක් ඇතුලට බැසගත්තාට පසු හරස් අතට පිහිටි උමගක් දිගේ කිලෝ මීටරයක් පමණ ගියාට පසු මා පිවිසියේ පොලව යට ඇති විශාල නගරයකටයි ඒ නගරයේ ජීවත් වන්නන්ගෙන් නාරද කියන පුද්ගලයාව මට හමු වීමට අවශය බව පැවසුවාට පසු එක් අයෙක් ඉදිරිපත් වී මාව නාරද සිටින තැනට රැගෙන ගියා මා දුටු නාරදගේ දෑස් විසල් වී සතුටු සිනා නැගුනා .


" වික්ටර් තමුසෙ කොහොමද මාව හොයාගෙන ආවේ "


ඔහු මගෙන් ඇහුවා.


" නාරද මම කාලය හරහා ගමන් කරණ මන්ත්‍රයක් ඉගෙන ගත්තා දැන් අපි ආපහු අපේ කාලයට යමු කාලය හරහා යන්න නම් අපිට ඕනේ අමුතු වර්ගයේ ගස් වර්ගයක් අර අපිට කලුකුමාර යක්ෂයාව හම්බවුන තැන තිබුණ ජාතියේ ගස් අවශ්‍යයයි තමුසෙ දන්නවද මෙහෙ ඒ ජාතියේ ගස් තියෙන තැනක්.."


" වික්ටර් අපිට ආපහු යන එක හීනයක් තමා "


" ඇයි මනුස්සයො එහෙම කියන්නෙ මට පුලුවන් තමුසෙව අරන් ආයෙමත් අපි හිටිය දෙදහ වර්ෂයට ආපහු යන්න තමුසෙට විශ්වාස නැද්ද මාව "


" මට තමුසෙව විශ්වාසයි ඒත් ඔය කාලය අතර ගමන් කරන්න ගස් වර්ගයක් අවශ්‍යයයිනේ ඒත්..ඒත් මේ අපි ඉන්නේ 3000හ වර්ෂයේ එකම ගහක්වත් නෑ මේ ලෝකයේ .."


" ම්..මොනවාහ්..එකම ගහක්වත් නෑ..."??


මට ඉබේටම කෑ ගැසින.


" ඔව් මේ අපි ඉන්න කාලයේ එකම ගහක්වත් නෑ මම දන්න තරමෙන් ඒත් එකම එක ගහක්වත් තියෙනවනම් ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවා මේ නගරයේ ඉදන් කිලෝ මීටර් සීයකට විතර එහා ගල් ලෙනක ජීවත් වෙන තාපසයෙක් ඔහු විතරයි මේ අපි ඉන්න ලෝකෙ ගැන හොදටම දන්න එකම කෙනා අපි ගිහින් ඔහුව හමුවෙලා අහල බලමු "


නාරද එහෙම කිව්වට පස්සෙ අපි තීරණය කලා ඒ තාපසතුමාව හමුවීමට පොලවෙන් මතුපිටට ඇවිත් හොර රහසෙන්ම ඒ නගරයෙන් පිටත් වී කිලෝමීටර් සියයක් දුර ගෙවාගෙන පා ගමනෙන් ගිය අතිශය දුෂ්කර වූ ගමන අපි දවස් හයක් තිස්සෙ ගමන් කර අවසානේ තාපසතුමා සිටින ගල්ලෙනට අපි පැමිණියා .


පේන තෙක් මානේම පෙනෙන එකම ගහක්වත් නැති ඒ මුඩු පරිසරය පුරාම මම නෙත් යවලා නාරදත් එක්ක තාපසතුමා ඉන්න ගල් ලෙනට ඇතුල් වුනා .


" නුඹලා දෙදෙනාට ආපසු යාමට අවශ්‍යය වී හැඩයි නුඹලා මේ කාලයට අයිතිත් නෑ මට වැටහෙනවා නුඹලාගේ අභිප්‍රාය "


අප දුටු සැනින් තාපස තුමා දෑස් වසාගෙනම එලෙස පැවසුවා .


" තාපසතුමනි අපට ආපසු යාමට එක් සුවිශේෂ ගසක් අවශයයි ඒ ගස කොහෙද තිබෙන්නේ කියා අපහට පවසනු මැනවි "


" ඔව් මා නුඹලාට අනුකම්පා කර උදව් කරන්නෙමි මාගේ ගල් ලෙනේ සිට දකුණු දිශාවට නුඹලා දෙදෙනා ගමන් කරනු හෝරා දෙකකට පමණ පසු නුඹලාගේ නෙතට දිස් වේවි අඩි තුන්සියයක් පමණ උසැති මහා ගල් කණුවක් මුදුනේ මහා විශාල වෘක්ෂයක් සෑදී තිබෙනවා එපමණයි මේ කාලයේ ඇති එකම ගස. දැන්ම නුඹලා පිටත් විය යුතුයි ඒ ගස සොයාගෙන තවත් හෝරා තුනකින් කලුකුමාර යක්ෂයා නුඹලා පසු පස හඹා එනවා ඔහුගෙන් මිදී පලා යාම නුඹලාගේ වාසනාව මත සිදු වනවා ඇත "..


තාපස තුමා ඒ කියූ දේ අනුව අප වහා පිටත් වුණේ ඒ ගස සොයා යාමටයි පැය දෙකක කටුක පරිසරය තුල ඇවිද ගිය දුෂ්කර ගමනකින් පසු අප ලගා වුනේ ඒ ගස පිහිටි ගල් කණුව අසලටයි එතනට පැමිණියාට පසු අප දෙදෙනාට වැටහුණේ ඒ ගල් කණුව මතට නැගීම ඉතා භයංකර විය හැකි බවයි නමුත් අප සිතුවේ කෙසේ හෝ කණුව තරණය කිරීමටයි කඩ තොලු වී තිබූ තැන් අල්ලමින් සීරු මාරුවට අප දෙදෙනා හෙමි හෙමින් ඒ භයානක ගමන ආරම්භ කලා පලපුරුදු කදු නගින්නෙකුට නම් ඒ කණුවේ තිබූ උස අඩි තුන් සියය නැගීම එතරම් දෙයක් නොවනු ඇති නමුත් අප එවැනි කණුවකට කිසි දිනක ආධාරකයක් පවා නොමැතිව ගමන් කර තිබුණේ නැත 


එහෙයින් ගල් කණුව උඩට අප ලගා වන විට විනාඩි පනහක් පමණ ගෙවී යන්න ඇති කණුව තරණය කරණ විට අත පයේ ඇති වූ තුවාල වලින් ලේ වැගිරෙමින් තිබුණා අප කණුව උඩටම පැමිණියාට පසුත් නමුත් අපහට තුවාල ගැන සිත සිතා සිටීමට තරම් කාලයක් නොවුවේ තවත් ටික වෙලාවකින් කලුකුමාර යක්ෂයා අපහා සටනට එලඹෙන බැවිනි ඔහු හා සටන් කිරීම පසුවට කල් තබා පලමුව අප සිතුවේ අපගේ කාලයට යාමටයි එනිසා මන්ත්‍ර මතුරමින් මා ගල් කණුව මත තිබූ ගස මත තවත් විනාඩි ගණනකට පසු ත්‍රිකෝණය මත වූ යක්ෂ ඇසක් මතු කරගැනීමට සමත් වුනා 


ඒ සමගම මට පිටු පසින් මතු වුන කලුකුමාර යක්ෂයා ඒ ගස දෙසට ගින්දර ගුලියක් විසි කලා ගස විනාශ වුවහොත් අපට යාමට නොහැකි වනවා නියත නිසා මා සිතුවේ මා යක්ෂයා සමග සටන් කර නාරදව කෙසේ හෝ දෙදහ වර්ෂයට යැවීමටයි මා කලු කුමාර යක්ෂයා දෙසට හැරුනේ නාරදව යක්ෂ ඇස දෙසට තල්ලු කරමින්ය මොහොතකින් නාරද යක්ෂ ඇස ඇතුලට ගොස් නොපෙනී ගියාය ඒ සමගම මා දෙසට කඩා පැන්න යක්ෂයා මට සිතා ගැනීමටවත් දෙයක් ඉතුරු නොකරමින් මාව ගල් කණුවෙන් පහලට තල්ලු කලාය


 පහලට වැටෙන මා අවසන් වරට දුටුවේ කලුකුමාර යක්ෂයාත් යක්ෂ ඇස මතට පැන අතුරුදන් වෙනවා හා ඒ මහා වෘක්ෂය මහා ගිනි ජාලාවකින් වැසී යනවාය.ඉතින් මේ මගේ අවසානය විය හැකිය අඩි තුන් සියයක කණුවක් මතින් පහල ගල් තලාවට වැටී මා කෙසේ නම් මගේ ජීවිතය බේරාගන්නද මගේ ජීවිතය බේරාගැනීමට කිසිදු අවස්තාවක් නැත මේ මගේ ජීවිතයේ අවසානයද...............??


මතු සම්බන්ධයි.






Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය