සැලූන්
අසංග රැකියාව කලේ කොළඹ නගරයේ ඔහු පදිංචි වෙලා හිටියේ නාරම්මල හැමදාම උදේ පාන්දර වැඩට ගිහින් මහ රෑ ගෙදර එන එක ඔහුට තිත්ත වෙලා තිබුණේ බැරිම තැන ඔහු ළඟ ඉතිරි කරගෙන තිබුණ මුදල් යොදවලා බම්බලපිටියෙන් මහල් නිවාසයක් කුලියට ගත්තා ඇත්තටම ඒක අසංගට විශාල පහසුවක් උනා ඔහු රැකියාව කල ආයතනය ඒ මහල් නිවාසයේ සිට මීටර් පන්සීයක් විතර දුරින් තිබුණ නිසා
අසංග ගේ බිරිඳ අනූෂත් සමග ඔහු ඒ මහල් නිවාසයට ඇවිත් පදිංචි උනා ඔහුගේ මහල් නිවාසය තිබුණේ මහල් විස්සකින් සමන්විත ගොඩනැගිල්ලක සත් වෙනි මහලේ කොහොම හරි ඔවුන් දෙදෙනා ඒ මහල් නිවසට පදිංචියට ආ දවසේ ගෙදර බඩු බාහිරාදිය උඩට ඇදලා අසංග හිටියේ හොදටම වෙහෙසට පත්වෙලා
හැන්දෑවේ අනූෂා හදල දුන්න රසවත් තේ කෝප්පෙකුත් පානය කරල අසංග හිතුව තමන්ගේ වැවිල තිබුණ කොණ්ඩය රැවුල කපාගෙන එනවා කියලා ඊට පස්සේ අනූෂටත් කියලා පයින්ම සැලූන් එකක් හොයාගන්න අසංග පිටත් වුනා එහෙට මෙහෙට ඇවිදලා ඒ වෙලාවේ ඇරල තිබුණ සැලූන් එකක් ඔහුට හොයා ගන්න බැරි වුනා විතරක් නෙමේ අසංගට තේරුනා ඔහු අතරමං වෙලා ඉන්නේ කියලා එහෙට මෙහෙට ඇවිදලා බැලුවත් පාර හොයා ගන්න බැරිවුනා පස්සෙ නිකමට වගේ එක තැනකට ඇවිත් උඩ බැලුවම ඔහුට ඈතින් පෙනුනා තමන්ගේ මහල් නිවාසය ඊට පස්සේ ඒ දිහාට යනකොට අසංග දැක්කා ඒ වෙලාවේ ඇරල තියෙන සැලූන් එකක් .
අසංග ඉක්මනටම ගොඩ වැදුනා සැලුන් එක ඇතුලට මොකද සැලූන් වල කොහොමටත් තමන්ගේ වැඩේ කරගන්නනම් පැය දෙක තුනක්වත් කාලය කා දමන්න සිද්ධ වෙනව කියල ඔහු අත්දැකීමෙන්ම දැන සිටියා සැලූන් එක ඇතුලේ ඔහු හිතූ විදිහට කිසිවෙක් කොණ්ඩය හෝ රැවුල කපාගන්න ඇවිත් හිටියේ නෑ ඔහු පමණමයි ඒ සැලුන් එකෙන් සේවාව ලබා ගැනීමට හිටියේ අසංගගේ සිතට සතුටක් දැනුනා මොකද අද ඔහුට සැලූන් එකක් ඇතුලේ කල් මරන්න සිද්ධ නොවෙන එකට
ඒ සැලූන් එකෙන් අසංග ගේ සිත සතුටුවෙන විදිහට කොණ්ඩය රැවුල කපා ගත්තා අසංග ජීවිතේටවත් එහෙම ලස්සනට කිසිම සැලූන් එකකින් කොණ්ඩය රැවුල කපාගෙන නෑ සැලූන් එකේ ගාස්තුව ගෙවල අසංග තමාගේ මහල් නිවසට ගියා.
" පේනවනේ මැඩම් මගෙ කොණ්ඩේ කැපිල්ල ලස්සනයි නේද "
නිවසට ඇතුල් වෙනකොටම අසංග අනූෂාට කිව්වා ඇය ඔහුගේ මූණ දිහා බලලා කොක් හඩලා සිනා සුනා .
" කෝ කොණ්ඩය කපලා කොණ්ඩේ තිබ්බ විදිහමනේ කොහෙද සැලුන් එකක් හොයනව කියලා ගියේ මම යනවා ඇඟ පත සෝදගන්න ඔයා කෑම කනවනම් කන්න බෙදල තියෙන්නේ .."
එහෙම කියලා අනූෂා නාන කාමරයට වැදුනා අසංගට අනූෂා කියපු කතාවට පුදුම හිතුණ ඔහු හෙමීට කණ්නාඩිය ලගට ගිහින් තමන්ගේ කොණ්ඩය දෙස බැලුවා කණ්නාඩියෙන් පෙනෙන අසංග ගේ කොණ්ඩය දැකලා ඔහු තිගැස්සුනා
අසංග ගේ කොණ්ඩය සැලුන් එකට යන්න කලින් තිබ්බ විදිහටම තිබ්බ කොණ්ඩය පොඩ්ඩක්වත් කපලා තිබුණේ නෑ සාක්කුවට අත දාල බලපු අසංගට තේරුනා ඔහු සැලූන් එකට මුදල් ගෙවල බව ඔහුට සැලූන් හිමියා ගැන කෝපයක් ඇති වුනා ඔහුගෙන් මුදල් අරගෙන කොණ්ඩය නොකපා ඔහුව රවටපු එක ගැන ඔහු ආයෙත් අර සැලූන් එක හොයා ගෙන ගියා අසංගට මතක තිබුණ ඒ සැලුන් එකට ගියපු පාර ඔහු ඒ සැලුන් එකට ගියාට පස්සෙ ඔහු දැක්කා සැලූන් එක වසා ඇති බව
අසංග එතන ඉන්න එක දැකලා එතනින් යන්න ගිය මනුස්සයෙක් ආපහු අසංග ලගට ඇවිත් මෙහෙම ඇහුවා.
" මහත්තය මොකද මෙතන කරන්නේ මෙතන ඒ හැටි හොද තැනක් නෙමේ ගෙදර යන්න මහත්තයා"
"මේ සැලූන් එක කීයටද ආයෙ අරින්නේ .."?
අසංග සැලූන් එක දිහාට අත දිගු කරල ඒ පුද්ගලයාගෙන් ඇහුවා අසංග ගේ ඒ කතාව අහල ඒ පුද්ගලයා අසංග දිහා තුෂ්නිම්බූතවෙලා ටිකවෙලාවක් බලාගෙන හිටියා ඊට පස්සෙ ඔහු මෙහෙම දෙයක් කිව්වා .
" ඔය සැලූන් එක දැන් අවුරුදු දහයක් තිස්සෙ වහල මහත්තයෝ"?
ඒ කතාව ඇහුන විතරයි අසංග බයට වෙව්ලන්නට ගත්තා ඉහින් කනින් දාඩිය දාන්න ගත්තෙ ඔහුටත් නොදැනීමයි ඔහුගේ මේ වෙනස දැකලා ඒ පුද්ගලයා අසංග ගෙන් ඇහුවා
" මොකද මහත්තයෝ මේ යකෙක් දැකලා වගේ බය වෙලා .."
ඊට පස්සේ අසංග සැලූන් එකට ගිහින් තමාට සිදු වුන දේ නොසඟවා ඒ පුද්ගලයාට පැවසුවා ඒක අහලා ඒ පුද්ගලයා අසංගටත් වඩා බය වුනා ඔහු දෑස් විසල් කරලා වෙවිලන හඩින් මෙහෙම කියල ඉක්මණට එතනින් යන්න ගියා.
" හත් ද් දෙයියනේ මහත්තයෝ ඉක්මණට ගෙදර යන්න ගෙදර ගිහින් දවස් තුනක් යනකන් ගෙදර දොර ජනෙල් වහගෙන ගෙදරටම වෙලා ඉන්න නැත්නම් මහා විනාශයක් වෙන්නේ මම දන් නෑ මරණ කීයක් වෙයිද කියලා .."
ඒ නාඳුනන පුද්ගලයා කියපු දේ අහල කලබලයට පත් වුන අසංග ඉක්මණ් ගමනින් මහල් නිවාසයට ආවා මහල් නිවාසයේ විදුලි සෝපානය ක්‍රියාත්මක නොවුන නිසා ඔහු පියගැට පෙල භාවිතා කලා හිස බිමට හරවගෙන ආපු අසංග කාගෙදෝ ඇඟේ හැප්පුන බව දැනිල හිස ඔසවල බැලුවම එතන හිටියේ වයසක ඇඟ පුරා පිලිස්සුම් කැළල් තිබුණ මහල්ලෙක් අසංග හැප්පුන පාරට ඒ මහල්ලා අතේ තිබුණ මල්ලකින් කතුරු පනා දැලි පිහි වගයක් බිමට හැලුනා අසංග වහාම ඒ සියල්ල අහුලා යලි මල්ලට දමා වයසක ඒ පුද්ගලයාට ලබා දුන්නා .
"" මම මහත්තයෝ අට වෙනි තට්ටුවේ ඉන්න සේපාල අත්තනායක මහත්තයාගේ රැවුල බාන්න ගියා යන්නම් "
අමුතුම ගොරෝසු හඬකින් ඒ මහල්ලා එහෙම කියලා යන්න ගියා තම නිවසට පැමිණ අසංග දොර විවෘත කරණවාත් එක්කම රූපවාහිනිය නරඹමින් සිටි අනූෂා අසංග දිහා බලල මුව පුරෝල සිනා සුනා.
" ෂාහ් ඔය කපල තියෙන්නේ කොණ්ඩය ලස්සනටම ආ.. රැවුලත් කපලා දැන් නම් මාර ලස්සනයි .."
අනූෂා කියපු ඒ කතාවට අසංග තිගැස්සුනා ඔහු හෙමීට එතන තිබුණ කණ්නාඩියකින් ඔහුගේ මූණ බැලුවා අසංග ගේ රැවුල කොණ්ඩය ලස්සනට කපල තියෙනවා කණ්නාඩිය තුලින් ඔහු දුටුවා අසංගට මේ කිසිවක් තේරුම් ගත නොහැකි වුනා දැන් මේ විනඩි විස්සකට කලින් තිබුණ කොණ්ඩය රැවුල ඉබේටම කැපිල තියෙන එක ඔහුට විශ්වාස කිරීමට පවා නොහැකි වුනා
අසංග ඊට පස්සේ නා ගන්න කියලා නාන කාමරයට ගියා ටික වෙලාවක් නාල ඔහු ෂැම්පු දමා තම හිස කෙස් පිරිමදින්න ගත්තා ඒ එක්කම ඔහුගේ ඇඟිලි තුඩුවලට පැටලිලා තමාගේ කොණ්ඩය පදාස පිටින් ගැලවි ගැලවී බිමට වැටෙනවා ඔහුගේ ඇස් දෙකෙන්ම දැක අසංග යටි ගිරියෙන් මොර දුන්නා ඔහුගේ කට හඩ ඇහිලා අනූෂා වහා දිව ආවා
" අසංග අනේ ඔය දොර අරින්න ඔයා ඇයි කෑ ගහන්නේ ඔයාට මොකද වුනේ "
අසංග නානකාමරේ දොර ඇරගෙන පිටතට ආවේ ඉකිගගහ අඩමින්.
" මේ බලන්න අනූෂා මගෙ මගේ කොණ්ඩය ඔක්කොම ගැලවිලා ගියා "
" ඔයාට විකාරද අසංග ඔය තියෙන්නේ ඔයා ගේ කොණ්ඩය ඒ විදිහටම"
අනූෂගේ කතාව ඇහිලා කණ්නාඩියෙන් මූණ බැලුවම අසංග දැක්කා තමාගේ කොණ්ඩය ඒ විදිහටම තියෙනවා කියලා අසංග ගේ ඔලුව විකාර වෙලා වගේ තිබුණේ ඔහුට මේ මොනවද වෙන්නෙ කියලා හිතාගන්නවත් බැරිවුනා ඔහුට ඕන වුනා ඔක්කොම අමතක කරල හොදට නිදා ගන්න ගෙදර තිබුණ නිදිපෙති දෙකක් බීලා ඔහු එහෙම්මම ඇඳට වැටුනා
අසංගට නින්ද යාගෙන එද්දි ඔහුගේ හිස කෙස් වලින් කවුදෝ ඇද ඇද ඒව ගලවනව කියල ඔහුට තේරුනා නිදිපෙතිවල මත්ගතියට දැනෙන වේදනාව මද වුනත් බොඳ වුන ඇස් වලින් අසංගට පෙනුනා ඒ වන විට තමන්ගේ හිස කෙස් සියල්ල කවුදෝ ඇදල අරන් ඔහුගේ දෑස මානයේ ගොඩ ගසා ඇති බව
ඒත් ඔහුට කිසිම දෙයක් කල නොහැකි වුනේ නිදි පෙතිවල මත් ගතිය ඔහුගේ සිරුර ආක්‍රමණය කරල තිබුණ නිසයි .
යාන්තන් නිදිපෙතිවල මත් ගතිය පහව යද්දී ඇස් ඇර බැලූ අසංග දුටුවේ මේසය මත තිබූ ඔහුගේ හිස කෙස් ගොඩ සහ ඉබේටම පාවී ඔහු දිහාට එන කතුරකුයි ඉබේම ආපු කතුර එක පාරම අසංග ගේ ඇඟිල්ලක් වෙන් වෙන්නම කැපුවා වේදනාව දරුණූ වුන නිසා අතත් බදාගෙන අසංග විලාප දුන්නා ඇඟිල්ල කැපුන තැනින් ලේ විදින්න ගත්තේ කාමරේ හැම තැනම ලෙයින් තෙත් කරමින්.
අසංග ගේ විලාපය ඇහිලා අනූෂා ඔහු වෙත දිව ආවා .
" මේ බලන්න අනූෂා මගේ මුලු කොණ්ඩයම කවුද ගලවලා මේසෙ උඩින් තියලු ඒ මදිවට මගේ ඇඟිල්ල....."
අසංග කියන්න ගිය දේ වලක්ව ගත්තේ ඔහුගේ ඇඟිල්ල ඔහු හදිස්සියේ දුටු නිසයි ඔහුගේ අත්වල එක ඇඟිල්ලක්වත් කැපිල තිබුනේ නෑ මේසය මත ඔහු දැක්ක හිස කෙස් ගොඩත් අතුරුදන් වෙලා තිබුණ හිස අතගාල බලපු අසංගට තේරුණා තමා ගේ කොණ්ඩය ඒ විදිහටම තියෙනවා කියලා අසංග අත් දෙක හිසේ ගසාගෙන පුටුවකින් වාඩිවෙලා අසරණව කල්පනා කරන්න ගත්තා.
ඊට පස්සෙ අනූෂා අසංග ගෙන් ඇහුවා ඔවුන් දෙදෙනාගේ මිතුරෙක් වෙන මනෝ වෛද්‍ය සුමිත්ව ගෙදරට ගෙනල්ලා ඔහුගෙන් මේ තත්වයට ප්‍රතිකාරයක් ගමුද කියලා අසංගත් ඊට කැමති වුනා තවත් පැය දෙකකට පමණ පසු ඔවුන්ගේ මිතුරු මනෝ වෛද්‍යවරයා මහල් නිවස වෙත පැමිණියා මනෝ වෛද්‍යවරයාව දුටු සැනින් අසංග විලාප නගන්නට වුනා.
" මේ අර සැලූන් එකේ බාබර් ඌ..ඌ මාව මරයි අනේ මාව මරයි"
දගලමින් කෑ මොර දෙන අසංගට සිහිනැති වීමට වෛද්‍යවරයා බෙහෙතක් එන්නත් කලා සෑහෙන වෙලාවකට පස්සේ සිහිය ආපු අසංගට දැනුන මුලු ගෙදරම දැඩි නිහැඩියාවක් පවතින බව බර ගතිය දැනෙන හිසත් අත ගාමින් ඔහු නිදා සිටි තැනින් නැගිට තම බිරිදගේ නම උස් හඩින් පවසමින් ඔහු අනිත් කාමරයට එබී බැලුවා ඒ කාමරයේ දුටු දේ දැක ඔහු විලාප දෙන්නට ගත්තා කාමරේ ඇඳ මත ගෙලට කතුරකින් ඇන ලේ විලක් මැද ඔහුගේ බිරිඳ අනූෂාව මරා දමා තිබුණා
අසංග ඉකි ගසමින් අඬන්න ගත්තා එක්වරම පිටු පසින් කතා කරන හඩක් ඇසී අසංග පිටුපස හැරී බලන විට කාමරයට ඇතුල්වන දොර ලග සිටගෙන සිටින අනූෂාව.
" මම බය වුනා කෑ ගහනව ඇහිලා ඔයා මොකද ඔය කාමරේට වෙලා ඉඳගෙන කරන්නේ "
අසංග හෙමීට හිස හරවලා ඇඳ දිහා බැලුවා ඇඳ මත තිබූ අනූෂාගේ මළ සිරුර අතුරුදන් වෙලා තිබුණ අසංගට තේරුනා මේ සිද්ධ වෙන හැම දෙයක්ම නතර කරගන්න නම් යන්න ඕන තැන ඔහු අනූෂවත් තල්ලුකර දමා ගොඩනැගිල්ලේ පියගැට පෙල දිගේ පහලට දිව ගියා පස් වෙනි මහලෙදී ඔහුගේ ඇඟේ උඩු මහලට නැග එන මහල්ලෙක්ව හැප්පුනා ඒ මහල්ලා තමා දවසකුත් ඔහුගේ ඇඟේ හැප්පුනේ කියලා අසංගට මතක් වුනා ඔහු වහා මහල්ලාගෙන් වැටුන කතුරු පනා වැනි උපකරණ යලි අහුලා දී ගොඩනැගිල්ලෙන් පිටතට ඇවිත් අර සැලූන් එක සොයා ගියා සැලුන් එක ලගට ගියාම ඔහු දැක්කා එය විවෘත වෙලා තියෙනවා ඔහු වහා සැලූන් එක ඇතුලට ගියා ජරාවාස වෙලා දූවිලි බැදිල මකුළු දැල් පිරිල තිබුණ ඒ සැලුන් එක එදා ඔහුට පිරිසිදුව පෙනුනේ කොහොමද කියලා අසංගට හිතුන ඒ එක්කම ඔහු දැක්ක සැලූන් එකේ කැඩුණ පුටුවක් මත තබා තිබූ විසිටින් කාඩ් එකක් ඔහු ඒක අතට අරන් බැලුවම දැක්කේ විසිටින් කාඩ් එකේ ලිපිනය ඔහු පදිංචි වෙලා ඉන්න මහල් නිවාසයේ අට වෙනි මහලේ සිටින සේපාල අත්තනායක කියන පුද්ගලයාගේ බව අසංග වහා ආපසු ඔහු පදිංචි මහල් නිවාසයට ගිහින් අටවෙනි මහලේ සේපාල අත්තනායකගේ නිවසේ දොරට තට්ටු කලා විනාඩි දෙකකට පස්සේ දොර විවර කරගෙන වයසක පුද්ගලයෙක් එලියට ආවා ඔහුගේ ඇඟ හැමතැනම කැපුම් තුවාල රාශියක් තිබුණ.
" සේපාල අත්තනායක මහත්තයද මේ "
අසංග ඔහුගෙන් විමසුවා
" ඔව් ඒ මම තමා "
මහල්ලා එලෙස පැවසුවාට පසු අසංග තමාට සිදුවුන සියලු දේ ඔහුට පැවසුවා ඒ වගේම ඒ සැලුන් එක ඇතුලේ ඔහුගේ විසිටින් කාඩ්පතක් තිබෙන්නේ කෙසේද කියාත් ඇසුවා අසංග කියූ සියල්ල සාවධානව අසා සිටි මහල්ලා එම සැලුන් එක සම්බන්ධ කතාව අසංගට කිව්වා ඒ සැලූන් එක අයිති වෙලා තිබුණේ සේපාල අත්තනායක වන තමාට බවත් දිනක් මහා ගින්නක් ඇති වී සැලූන් එකේ සේවය කල මහල්ලාත් සමග දැවී ගිය බවත් ඒ මහල්ලාට කිසිවෙක් සිටිය නැති නිසා අවසන් චාරිත්‍ර වත් නොකර ඔහුව වල දැමූ බවත් යලි එම සැලූනය පිලිසකර කලත් කිසිවෙක් හෝ එහි සේවය ලබාගැනීමට නොආ බවත් එමනිසා සැලූනය අතැර ඇති බවත්
සේපාල අත්තනායක අසංගට කිව්වා
" ඒත්..ඒත් මම ඒ සැලූන් එකෙන් කොණ්ඩය රැවුල කැපුවනේ "
කතාව අවසානයේ අසංග සේපාල අත්තනායකට එහෙම කිව්වා.
" හත් දෙයියනේ දැන්ම ගෙදර ගිහින් දවස් තුනක් ගෙදර දොරවල් ජනෙල් වහගෙන එලියටවත් එන් නැතුව ඉන්න නැත්නම් ජීවිතයක් නැති වෙලා නතර වෙන්නේ මම පහුගිය අවුරුදු දහයටම එලියට බැස්සෙ නෑ හැමදාම ඒ වයසක බාබර් ගේ අවතාරේ එනවා මගෙ රැවුල කොණ්ඩය කපන්න ඊට පස්සේ මගේ ඇඟේ කොහෙ හරි දැලි පිහියෙන් කපල යන්න යනවා ඒක මට කරදරයක් වුනත් ඒ දේ නවත්වන්න මට බෑ ඒක නැවැත්තුවොත් මගේ මරණය සිද්ධ කරනවා ඒ බාබර්.
දැන්ම යන්න ගිහින් දවස් තුනක් ගෙදර ඉන්න මට වගේ නෙමේ ඔයාට හැම දේම දවස් තුනකට පස්සෙ විසඳෙනව .මට සල්ලි තිබිලත් ඒ වයසක බාබර්ට අවසන් චාරිත්‍ර නොකරපු එකේ පල විපාක මම විදින්නේ ඒක මට කවදාවත් හරි ගස්සන්න බෑ මම මැරෙනකන් ඒ අවතාරේ එනව මේ ගෙදරට .
එහෙම කියලා සේපාල අත්තනායක නිහඬ වුනා ඊට පස්සෙ අසංග දවස් තුනක් ගෙදර දොර ජනෙල් වහගෙන හිටියට පස්සේ හැම දෙයක්ම හරි ගියා අදටත් සැලූන් එකකට ගොඩ වදිනකොට අසංගට ඒ භයංකාර සිදුවීම් පෙල මැවිලා පේනවලු.
නිමි.
Comments
Post a Comment