නොවිසඳුණු ඝාතනය
කුලියාපිටිය පොලිසියේ දුරකථනය අලුයම පහට පමණ එක දිගට නාද වීමට පටන්ගත්තේ කන්දොස්කිරියාවක් ඇතිකරවමින්ය. දුරකථනයේ රිසිවරය තද නින්දක සිට එක්වරම පිබිදුනු පොලිස් නිලධාරියෙක් එසවූවේ පරුෂ වචනයකුත් මුවින් පිට කරමින්මයි දුරකථනයේ අනෙක් පසින් පොලීසිය ඇමතුවේ කුලිපිටිය පොලිස් වසමට අයත් වට්ටක්කාවත්ත ග්‍රාමයේ ගැමියෙක්ය.
" හලෝ සර් මම මේ වට්ටක්කාවත්ත ගමේ ජිනදාස කියල කෙනෙක් කතා කරන්නේ අපේ ගෙට ටිකක් එහා ඉන්න රත්නපාලව දවස් පහකින් විතර දැක්කෙ නෑ දැන් ඒ ගෙදරින් සැර කුණු ගඳක් එනවා "
" හරි තමුසෙලා ඔය කියන රත්නපාලගේ ගෙදරට යන්න එපා අපි ඇවිත් සෝදිසි කරලා බලන්නම් ,
එසේ පැවසූ නිලධාරියා දුරකථන ඇමතුම විසන්ධි කලේය.තවත් සුලු මොහොතකින් උප පොලිස් පරීක්ෂක නිවන්ත රත්නායක ප්‍රමුක පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වට්ටක්කාවත්ත ග්‍රාමය බලා පිටත් වූහ.
පොලිස් නිලධාරීන් පැමිණෙන විටත් ගමේ පදිංචිව සිටිනා ගැහැණු පිරිමි සෑහෙන පිරිසක් දුරකථන ඇමතුමෙන් කියවුන දුගඳ හමනා නිවස වටේටම රැස් වී සිටියේ යම් අපරාධයක සැක සංකා ඔවුන්ගේ සිත් තුලත් පැල පදියන් වී තිබූ නිසා විය හැක පොලිස් නිලධාරීන් ඉදිරියටම ගිය ගැමියෙක් මෙසේ පැවසුවේය.
" සර් මම තමා කෝල් එක දුන්නේ මම අර පේන ගෙදර පදිංචි වෙලා ඉන්නේ අද පාන්දර තමා මේ ගෙදරින් මේ විදිහට ගඳක් එන්න පටන් ගත්තේ අපේ ගෙදරට සැරටම ගඳ එනවා ඒකයි මම උදේම කෝල් කෙරුවේ මේ ගෙදර හිටිය රත්නපාල තනියම තමා ජීවත් වුනේ මීට මාසයකට කලින් මිනිහගේ කසාද ගෑණිත් මිනිහව දාල ගියා කියලා රත්නපාල තමා අපිට කිව්වෙ සර් ".
" බොහොම හොදයි ගේ ඇතුලට නොයා අපිට කෝල් කරල දන්වපු එක මොකද ගේ ඇතුලේ අපරාධයක් වෙලා නම් සාක්ෂි හොයා ගැනීමත් සෑහෙන ප්‍රශ්නයක් වෙනවා හැමෝම ගේ ඇතුලට ගියා නම් තමුසෙල බොහොම හොඳ ක්‍රියාවක් කරල තියෙන්නේ හොදයි අපි දොර ඇරල බලමු "
ඉදිරිපස දොරේ අගුල කඩා දමා ගේ ඇතුලට ගිය පොලිස් නිලධාරීන් ගෙතුල කාමර එකින් එක පරික්ෂා කර බැලුහ. කාමර හතරක් සහ මැද සාලයකින් මුලුතැන් ගේකින් සමන්විත ඒ නිවසේ කාමර තුනකම දොරගුලු දමා තිබුණේ නැත නමුත් එක් කාමරයක ඇතුලතින් දොරගුළු දමා තිබූ නිසා එම දොරද කඩා බැලූ පොලිස් නිලධාරීන් දුටුවේ එම කාමරයේ වහලයේ පරාලයක බැදි ලණුවකින් ගෙල වැල ලා එල්ලෙමින් තිබූ ඒ නිවෙස් හිමියා වූ රත්නපාලගේ ඉදිමී නරක්ව යමින් තිබූ අධික දුර්ගන්ධයක් හමන මළ සිරුරයි.
" සර් සියදිවි හානිකර ගැනීමක් වගේ නේද .."?
එක් පොලිස් නිලධාරියෙක් උප පොලිස් පරීක්ෂක නිවන්ත දෙස බලා පැවසුවේය.
" නෑ මේක මර්ඩර් කේස් එකක් තමුසෙට පේනවද අර ඇඳ අස්සෙ තියෙන ලොකු ගල ඒකෙ හැම තැනම ලේ පැල්ලම් තියෙනවා මේ බොඩි එකෙත් හැම තැනම යම් කිසි දේකින් තලලා තුවාල හදල තියෙනවා ඒ වගේම සිරුර හැම තැනම සූරලා අනිවාර්යයෙන්ම අර ගලෙන් මේ මිනිහට මැරෙනකන් ගහලා පස්සෙ මිනිය කඹේකින් ගැට ගහල එල්ලලා "
උප පොලිස් පරීක්ෂක නිවන්ත එසේ පැවසුවේය.
" ඒත් සර් මේක මර්ඩර් එකක් නම් මිනී මරුවා කොහෙන්ද පැනලා ගියේ මේ කාමරේ එක ජනේලයක්වත් නෑ වහලෙන් පැනලා ගියානම් උළු කැට එහෙට මෙහෙට කරල හරි නැත්නම් අයින් කරල හරි තියෙන්න ඕනේ එහෙමවත් නෑනේ එතකොට මිනීමරුවා ඇතුලෙන් අගුලු දාපු දොරක් තියෙන ජනේලයක්වත් නැති කාමරයෙන් පිට වුනේ කොහොමද ..?"
තවත් එක් පොලිස් නිලධාරියෙක් උප පොලිස් පරීක්ෂක ගෙන් එසේ විමසුවේය.
" ඔව් ඒක සෑහෙන බරපතල ප්‍රශ්නයක් අපි බලමු මේ බොඩි එකේ මරණ පරීක්ෂණ වාර්තාව ආවම මොන ආකාරයටද මේ අපරාධය වෙලා තියෙන්නෙ කියලා විශේෂයෙන් අර ගලේ ඇඟිලි සලකුණු වාර්තාවක් ගන්න ඕනේ "
මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා යොමු කල අතර මළ සිරුර තිබූ කාමරයෙන් හමු වූ ගල පතුරද පරීක්ෂා කර බැලූ අතර පරීක්‍ෂණ වාර්තා වලට අනුව රත්නපාලට එම ගල් පතුරෙන් පහරදී ඝාතනය කර ඇති බවට තහවුරු විය ගල් පතුරෙන් හමු වූ කාන්තා හිස කෙස් නිසා ඝාතනය කර ඇත්තේ කාන්තාවක් විසින් බව පැහැදිලි විය ඇඟිලිසලකුණු වාර්ථා අනුව ගල් පතුරේ රත්නපාලගේ ඇඟිලිසලකුණු වලට අමතරව තවත් අයකුගේ ඇඟිලිසලකුණුද හමු වී තිබිණි රත්නපාලගේ ඇඟිලි සලකුණු එම ගලේ තිබීමට හේතුව ගල් ප්‍රහාරයෙන් බේරීමට තැත් කරන විට රත්නපාලගේ ඇඟිලි සලකුණු වැදෙන්නට ඇති බවටත් අනෙක් ඇඟිලි සලකුණ මිනීමරුවාගේ බවටත් පොලිස් නිලධාරීන් නිගමනයකට ආවත් මිනීමරුවා රත්නපාලව ඝාතනය කර පලා ගිය ආකාරය පොලිස් නිලධාරීන් හට උභතෝකෝටික ප්‍රශ්නයක් විය .
තවත් දින දෙකකට පමණ පසු පොලිස් ස්ථානයට කලබලයෙන් පැමිණි වට්ටක්කාවත්තේ ග්‍රාමයේ ගැමියෙක් උප පොලිස් පරීක්ෂක නිවන්තව හමු වී මෙසේ පැවසුවා.
"..ස..සර් මගේ ඉඩමක් තියෙනවා කන්කානියම්මුල්ල කැලේට මායිම්ව ඒකෙ තියෙනවා පාලුවට ගිය ලිඳක් මාස හය හතකින් ඉඩමට ගියේ නැති නිසා මම උදේ ගියා ඉඩම ටිකක් සුද්ධ කරන්න ඉඩමේ තියන පාලු ළිද ඇතුලේ ගෑණු කෙනෙක් ගේ කුණු ගඳ ගහන මිනියක් තියෙනවා සර් "
ගැමියා පැවසූ දේ අසා උප පොලිස් පරීක්ෂක නිවන්ත ප්‍රමුක නිලධාරීන් කණ්ඩායමක් වහා එම ස්ථානය කරා පිටත් වූහ එම පාලුවට ගිය ළිදේ තිබී ගොඩ ගත් කාන්තා මළ සිරුර එල්ලා මරා දමා තිබූ රත්නපාලගේ බිරිඳ බව ගැමියෝ හැමෝම එකහෙලා පැවසුවෝය.
රත්නපාලගේ බිරිඳ ගේ මරණ පරීක්ෂණ වාර්තාව බැලූ උප පොලිස් පරීක්ෂක නිවන්ත විශ්මයට පත් විය රත්නපාලගේ බිරිඳවද මරා දමා තිබුණේ ගල් පතුරකින් පහරදීය එම තුවාල කැලල් හා රත්නපාලගේ සිරුරේ තුවාල කැලල් සංසන්දනය කර බැලූ විට එකම ගල් පතුරකින් පහර දී දෙදෙනාවම ඝාතනය කර ඇති බව පැහැදිලි විය රත්නපාලව ඝාතනය කර තිබූ ගල් පතුරේ තිබූ අනෙක් ඇඟිලි සලකුණ රත්නපාලගේ බිරිඳ ගේ බවටද තහවුරු විය රත්නපාලගේ සිරුරේ තිබූ සීරීම් සියල්ල කර තිබුණේ ඔහුගේ බිරිඳ ගේ දෑත් වලින් බවටද තහවුරු විය සියල්ලටම වඩා අද්භූතජනක සිද්ධිය වූයේ දින හයකට පෙර මරා දමා තිබූ රත්නපාලගේ සිරුරේ මස් සහ සම් කැබලි මීට මාසයකට පෙර මරා දමා තිබූ රත්නපාලගේ බිරිඳගේ නිය පොතු අතර තිබී හමුවීමයි.
වට්ටක්කාවත්ත ග්‍රාමයේ රත්නපාල සහ ඔහුගේ බිරිඳ ගේ ඝාතනය අදටත් කුලියාපිටිය පොලිසියේ නොවිසඳුණු අපරාධ වාර්තා අතර තිබෙනා අතිශය අද්භූතජනක සාහසික අපරාධ වාර්තාවකි.
නිමි.
ඩ්‍රැකීගෙ ඔත්තුව දිගේ මේ පැත්තට ආවේ. කොච්චර කියෙව්වත් අද්භූත කතාවල අමුතු රසයක් තියනවා නේද?
ReplyDeleteඒක ඇත්ත
Delete