බෝතල් පත්තර
තොටළග පැල්පත් වාසියෙක් උන ගනේෂ්ගෙ රැකියාව උනේ බෝතල් පත්තර එකතු කරන එක එදත් වටේම කරක් ගහල හොයා ගත්ත බෝතල් පත්තර ටිකත් නානගේ කඩේට දීලා හොදටම වෙහෙසට පත් වෙලා ආපු ගනේෂ් එහෙම්මම
ඇන්ටන්ගේ කසිප්පු තිත්පලෙන් කසිප්පු පැකට් එකකුත් බීලා ගෙදරට ඇවිත් නිදා ගන්න ඇඳට වැටුනා .
යාන්තම් ඇහැපිය වීගෙන එද්දි ගනේෂ්ගේ කණට කරලා කවුදෝ රහසින් ...."බෝතල් පත්තර ..." කියනවා ඇහිලා ඔහු එක පාරටම නැගිට්ටා එක කාමරයක් විතරක් තිබුණ ගනේෂ්ගේ නිවසේ ඔහු තනියම තමා ජීවත් උනේ ගනේෂ් වට පිට බැලුවා කවුද කතාකෙරුවේ බලන්න ඔහුට කාමරේ ඇතුලේ කවුරුවත් දක්නට ලැබුනේ නෑ .
ආයෙත් පාරක් ගනේෂ් නිදාගන්න උත්සහ කෙරුවා ඒත් නින්ද යාගෙන එනකොට ඔහුගේ කණට කරලා බෝතල් පත්තර කියන කට හඬ ආයෙත් ඇහුනා ගනේෂ් ආයෙත් වට පිටේ හැම තැනම බැලුවා කවුරු හරි ඉන්නවද බලන්න ඒත් කවුරුවත්ම ඔහුට පෙර ලෙසටම දක්නට නොලැබුනා .
" මේ මොන මගුලක්ද අප්පා අරක්කු මතේටද මට මේ විකාර කට හඬ වල් ඇහෙන්නේ ඇහැ පියවීගෙන එනකොටම මොකෙක්ද රහස් කියනවා "
තමාටම ඇසෙන ලෙස කියවමින් ගනේෂ් ගෙදරින් එලියට බැස්සේ ඔහුගේ නිවස ඉදිරි පිට තිබූ මාටින් ගේ තේ කඩේට යාමේ අරමුණිනි තේ කඩේ අයිති කරු වූ මාටින් ගනේෂ්ව දැකලා ඔහු දිහා ඇස් ලොකු කරගෙන තුෂ්නිම්බූත වෙලා බලාගෙන හිටියා
" ඇයි බං මාටින් අයියේ මාව අදුරන් නැද්ද මම ගනේෂ් බං මට ඔන්න ඔය ටී එකක් දාහන්කෝ "
" ගනේෂ් මම ඇස් පියාගෙන ඉන්න වෙලාවට ආවත් මම උඹේ කට හඩින් උඹව අදුරගන්නවා ඒත් බලපන්කෝ උඹේ මූණට වෙලා තියෙන දෙයක් "
තේ කඩේ මාටින් එහෙම කියලා ගනේෂ්ට ටී එකක් හදල දුන්නා ගනේෂ් ටී එක බොන ගමන් ඔහුගේ මුහුණ අසල නවතා තිබූ මෝටර්සයිකලයක පැති කණ්නාඩියකින් බලන විට ඔහු තිගැස්සුනා .
ගනේෂ් ගේ මූණ පුරා රතු පැහැති පැල්ලම් සැදී මුලු මූණම ඉදිමී තිබුනා වහා ටී එක පානය කර මුදල් ගෙවා ගනේෂ් වහා තම නිවසට ගියා නිවසට ගොස් නිවසේ දොර ඇරීමට උත්සහ කලත් එය නොහැකි වුනා සෑහෙන වෙලා උත්සහ කෙරුවට පස්සේ යාන්තන් ඇතුලට යාමට පොඩි ඉඩක් හදාගෙන ගනේෂ් නිවස තුලට ගියා
නිවස තුලට ගියාට පස්සෙ ගනේෂ් දැක්කා දොර ඇරගැනීමට නොහැකි වුන හේතුව නිවස පුරා තිබුණ බඩු බාහිරාදිය හැම තැනම විසිරිලා තිබුනා දොර දෙසට ආපු ඇදුම් කිහිපයක් නිසා දොර හිර වී තිබුණා ඔහු තේ කඩේට යන කොට පිලිවෙලකට අස් කරල තිබුණ ඔහුගේ නිවස මේ වෙනකොට පිස්සන් කොටුවක් වගේ වෙලා තිබුණ
ගනේෂ් හිතුව පූසෙක් වත් ගෙට පැනලා මේ විදිහට හැම දෙයක්ම අවුස්සන්න ඇති කියලා තවත් පැය භාගයකට පස්සේ මුලු ගේම අස් කරල අතුගාල නිදාගන්න කියලා ඇඳට වැටුනා විතරයි එක පාරටම බෝතල් දෙකක් එකට වදින සද්දෙ ඇහෙන්න ගත්තා එක දිගට ඇහෙන මේ සද්දෙ හොයා ගන්න එහෙට මෙහෙට ගේ පුරා ගිහිල්ලත් ගනේෂ්ට ඒ සද්දේ හොයා ගන්න බැරි වුනා බැරිම තැන ඔහු ඇඳ මතින් වාඩි වුනා ඒ එක්කම ඇඳ යටින් රෝල් වෙලා ආපු බෝතල් දෙකක් ගනේෂ් ගේ දෙපා වල වැදිලා නතර වුනා
නිකම්ම බෝතල් දෙකක් රෝල් වෙලා එන්න විදිහක් නැති නිසා කොහොමද බෝතල් රෝල් වෙලා ආවෙ බලන්න ගනේෂ් ඇඳ යටට එබිලා බැලුවා ඇඳ යට දුටු දෙයින් ඔහුගේ ඇඟ හිරි වැටිලා ගියා.
ඇඳ යට කුඩා දරුවෙක් සැඟ වී ඉන්නවා දුටු ගනේෂ් ගේ කෝපය නිම් නැති විය .
" උඹ මොකද මගෙ ඇඳ යට කරන්නේ පලයන් පලයන් ගෙදර නැත්නම් උඹේ මහ එවුන් පොලිසියේ එවුනුත් අරන් මෙතනට එයි නිස්කාරණේ මට මෙතනින් හිරේ යන්න වෙයි "
කුඩා දරුවා ගනේෂ් දිහා දෑස් විසල් කරමින් අමුතුම විදිහට බැලුවා ඒත් ඒ ලමය වචනයක්වත් කතා කෙරුවේ නැහැ.
වයස අවුරුදු හයක් හතක් විතර වුන ඒ කුඩා දරුවට ගනේෂ් මහ හඩින් බැන වදිමින් බලෙන්ම ඇදගෙන ගිහින් නිවසෙන් එලියට දාල දොර වැහුවා ඒ වෙනකොටත් මහා දාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙමින් තිබුණේ අකුණු ගගහ වහින වැස්ස අතරින් පලාතම ආලෝකය කරමින් කරණ විදුලි කෙටීම මහා භයංකාර බවක් ගෙන තිබුණා .ඒ භයංකාර පරිසරේ තට්ට තනියම තිත්ත කලුවරේ කුඩා දරුවෙක් කොහොම ඉන්නද පොඩි දරුවා ගනේෂ්ගේ නිවසේ දොරට එක දිගට ගහන්න ගත්තා
ගනේෂ් ගේ ඇතුලේ ඉදලා දොරට ගහන සද්දෙ අහගෙන හිටියා ඔහු කැමති උනේ නෑ කුඩා දරුවෙක් නිවසට ගෙනල්ලා නැති කරදරත් ඇති වෙනවට ඒත් මහ වැස්සේ කුඩා දරුවා තෙමෙන එක ගැන හිතලා කාගෙ උනත් දරුවෙක්නෙ කියල හිතලා දරුවව ගේ ඇතුලට ගන්න දොර ඇර බැලුවා ඒත් වටේ පිටේ කොහෙවත් ඒ කුඩා දරුව පේන්නවත් හිටියේ නෑ නමුත් කුඩා සෙල්ලම් බඩුවක් එලියේ අර දරුවා සිටිය තැන වැටිල තියෙනවා දැකපු ගනේෂ් සෙල්ලම් බඩුව ගේ ඇතුලට ගෙන ආවා.
කුඩා මෝටර් රථයක් වුන ඒ සෙල්ලම් බඩුව එක කාමරයක් වුන නිවසේ මුල්ලකින් දාපු ගනේෂ් ආයෙත් නිදාගන්න උත්සහ කෙරුවා යාන්තන් ඇහැ පියවීගෙන එද්දී සෙල්ලම් මෝටර් රථය කර්කෂ සද්දයක් නිකුත් කරමින් ගේ පුරා යන්නට වුනා වහා නැගිට ගනේෂ් ඒ කුඩා සෙල්ලම් මෝටර් රථය බෝතල් පත්තර එකතු කරනා කවරයක් ඇතුලට දාල කවරය බැඳ දමා යලිත් නිදන්නට උනා නමුත් ඔහුට නින්ද ඒගෙන එද්දි යලිත් සෙල්ලම් මෝටර් රථය ගේ පුරා යන හඩ ඇසෙන්නට වීම නිසා ගනේෂ් දෑස් ඇර බලන විට දුටුවේ බැඳ දමා තිබූ කවරයෙන් මෝටර් රථය ඉබේම පිටතට ඇවිත් තිබෙන බවයි .
" මොකක්ද යකෝ මේ වෙන්නෙ මට නිදාගන්න වෙන් නැද්ද අද "
කෝපයෙන් බෙරිහන් දී ඇඳ මතින් නැගිට ගත් ගනේෂ් කුඩා මෝටර් රථය නිවසේ දොර විවර කොට ඈතට වීසි කර නිදා ගත්තා ඉන් පසු කිසිම සද්දයක් ආවෙ නැති නිසා ඔහුට හොදටම නින්ද ගියා උදේ නිවසින් පිටත අන් පැල්පත් වාසීන්ගේ කතා බහ කරනා හඩට අවදි වුන ගනේෂ් තිගැස්සුනා ගනේෂ් ගේ ඇඳේ එක පැත්තක අර මහ රෑ එලවා දැමූ කුඩා දරුවා නිදා සිටි අතර ඇඳ පාමුල රාත්‍රියේ විසිකර දැමූ සෙල්ලම් මෝටර් රථය තිබුණා.
" නැගිටපන් යකෝ තෝ මගෙ දරුවෙක්ද මගෙ පස්සෙම ඉන්නෙ පලයන් මෙතනින් පලයාන් පිටවෙලා "
ගනේෂ් එලෙස කුඩා දරුවාව සොලවමින් කෑ මොර දුන්නා ගනේෂ්ගේ කෑ ගහන සද්දෙට අවට පැල්පත් වාසීන් ගනේෂ්ගේ නිවස අසලට ඇවිත් දොරට තට්ටු කලා වහා ගනේෂ් නිවසේ දොර විවර කලා ඊට පස්සෙ ඇඳ මත සිටින කුඩා දරුව දෙසට අත දිගු කරමින් පැමිණි පිරිසට ඔහු මෙහෙම කිව්වා.
" කියපල්ලා මේ යක්ෂ පැටිය උඹල කාගෙ හරිද කියලා මේ පොඩි එකා ඊයේ රෑ ඉදන් මගෙ පස්සෙ වැටිල මට වද දෙනවා මොන කරුමයක්ද යකෝ මේක ""
අවට සිටි පිරිස නිවසට එබිකම් කර ගනේෂ් ගේ මුහුණ දෙස බලා සමච්චලයට සිනා සෙන්න ගත්තා ඊට පස්සෙ පිරිසේ සිටි එක් අයෙක් මෙලෙස කිව්වා.
" උඹ කසිප්පු බීලා බීලා ඇඟ ඇතුල නරක් කරගෙන විතරක් නෙමේ මොලෙත් නරක් කරගෙන කොහෙද යකෝ ඕක ඇතුලෙ ලමයෙක් තොට පිස්සුද ..?"
එහෙම කියලා නිවස වටේ සිටිය හැමෝම යන්න ගියා ගනේෂ් හිමීට තමාගේ ඇඳ දෙස බැලුවා ඒ කුඩා දරුවා අතුරුදහන් වෙලා සිටියා ගනේෂ් ඉක්මනට දොර වහලා දාල නිවස තුල තිබූ ඇඳ මතින් වාඩි වෙලා ඇඳ පාමුල තිබූ කුඩා සෙල්ලම් මෝටර් රථය අතට ගෙන මේ විදිහට තර්ජනාත්මකව පැවසුවා.
" උඹට සෙල්ලම් කරන්නද ඕනේ වරෙන් අපි සෙල්ලම් කරමු "
එහෙම කියනවාත් එක්කම ගනේෂ් ගේ සුරතින් ඉබේම බිමට විසි වුන සෙල්ලම් මෝටර් රථය කර්කෂ හඩ නගමින් ගේ පුරා යන්න ගත්තේ ඔහුව තුෂ්නිම්බූත කරමින් ඒ එක්කම ඔහුගේ ඇඳ යට සිට එලියට බඩ ගාගෙන ආපු අර කුඩා දරුවා ගනේෂ් දිහා අමුතුම බැල්මකින් බලලා සිනාවුනා භයානක දර්ශනයක් වුන ඒ දේ දැකලා ගනේෂ් යටිගිරියෙන් කෑ ගැහුවා ඒ එක්කම දොරත් තල්ලු කරගෙන නිවස අවට සිටි තුන් හතර දෙනෙක් නිවස තුලට ආවා.
" මොකද යකෝ බෙරිහන් දෙන්නේ"?
ඔවුන් ගනේෂ්ගෙන් ඇහුවා.
" අර පො..පොඩිඑකා යන්නෙ නෑ..ඒකා ..මේ ගේ ඇතුලේ ඉන්නවා .."
ගනේෂ් වෙව්ලමින් පැමිණි පිරිසට කිව්වා.
" තෝ මේ බීලා බීලා අපිවත් කලබල කරනවා තොගෙ කන් ගැට්ට පලනවා ආයෙ කෑ ගැහුවොත් කොහෙද ඉන්නෙ යකෝ ලමෙක් මේක ඇතුලේ "
ගනේෂ්ට තදින් දෝෂාරෝපණය කල පිරිස යන්න ගියා.
ගනේෂ් බිම තිබූ සෙල්ලම් මෝටර් රථය හොදට පරීක්ෂා කරලා බැලුවට පස්සෙ ඔහුට මතක් වුනා ඒ මෝටර් රථය ඔහු බෝතල් පත්තර එකතුකරන් යනකොට වහල දාපු ගෙදරක එලියෙ තිබිල අරන් ආව කියලා ගනේෂ් ඉක්මණටම ඒ සෙල්ලම් මොටර් රථයත් අරන් ගියා ඒ නිවසට
තාමත් වහල දාල තිබුණ ඒ නිවසේ දොර ඉබේම විවෘත වුනා ගනේෂ් නිවසේ දොර ලගට යනකොටම. මෝටර් රථය නිවසේ දොර ලගින් තියලා ආපහු යන්න හදනකොටම ගනේෂට ඇහුනා ගේ ඇතුලෙන් යමක් බිමට වැටෙන හඩක් සහ කවුදෝ ගෑණු කෙනෙක් කෑ ගසන හඩක් ගනේෂ් හිමීට ගේ ඇතුලට ගියා ගේ ඇතුලෙන් දැනෙන කුණු ගඳ ඔහුට දරා ගත නොහැකි උනා එක් අතකින් නහය වහගෙන කාමර එකින් එක පරික්ෂා කරපු ගනේෂ්ට එක කාමරේක අල්මාරියක් ළඟ මැස්සෝ පිරිල ඉන්නව දැකපු නිසා ඔහු ඒ කාමරේ අල්මාරිය ඇරල බැලුවා
ඒ එක්කම අල්මාරිය ඇතුලේ තිබිල කැපුම් කෙටුම් සහිත ඉදිමී නරක්ව තිබූ කාන්තා මළ සිරුරක් එලියට වැටුනා ඒ භයානක දර්ශනය දුටු ගනේෂ් කෑ ගහගෙන කාමරෙන් එලියට එන්න හදනවාත් එක්කම කකුල පැටලිලා ඔහු බිම ඇදගෙන වැටුනා බිම වැටුන ගනේෂ්ට තවත් භයානක දර්ශනයක් කාමරේ ඇඳ යට දක්නට ලැබුනා .
මරා දමා තිබූ පුංචි දරුවෙක්ගේ මළසිරුරක් ගනේෂ් පැහැදිලිවම දැක්කා ඒ කුඩා දරුව තමා තමාගේ ගෙදර හිටියෙ කියලා යලිත් ඉක්මණටම වැටුන තැනින් නැගිට නිවසට ඇතුල් වෙන දොර ලගට ගිහින් යලිත් ආපසු හැරී බලපු ගනේෂ් දැක්කා ඇඳ යට මරලා දාල හිටිය ඒ දරුවා ගනේෂ් ගෙන ආ
කුඩා සෙල්ලම් මෝටර් රථය අතැතිව නිවසේ සාලයේ අමුතු අද්භූතජනක සිනාවකින් මුව සරසගෙන ඔහු දිහාම එක එල්ලේ බලන් ඉන්නවා ගනේෂ් මර බියෙන් කෑ ගහගෙන කෙලින්ම ගියේ පොලිස් ස්ථානයට ඔහු නිවස තුල දුටු මළසිරුරු ගැන පොලිස් නිලධාරීන්ව දැනුවත් කලා තවත් දින කිහිපයකට පසු ඒ නිවසේ කුඩා දරුවාව සහ කාන්තාව ඝාතනය කල අපරාධ කාරයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා ඒ වෙන කිසිවෙක් නෙමේ ඒ මරා දමා තිබූ කාන්තාවගේ සහ කුඩා දරුවාගේ පියා විසින් අමානුෂික ඝාතනය සිදුකර තිබුණා ඔහු ඒ කාන්තාවගෙන් වෙන් වී තවත් කාන්තාවක් සමග ජීවත් වෙමින් සිටියා මරා දැමූ කාන්තාවට සහ දරුවාට නඩත්තු මුදල් ගෙවමින් පවුල් දෙකක් නඩත්තු කිරීම අපහසු වීම හේතුවෙන් ඔහු තමාගේ දරුවා සහ බිරිඳව මරා දමා තිබෙනවා.
එදායින් පස්සෙ ගනේෂ් ඒ ගේ තියෙන පැත්ත පලාතෙවත් යන්න බය වුනා ඒ විතරක් නෙමේ කිසිම ගෙදරකින් හොරෙන් කිසිම දෙයක් ගෙනාවේ නෑ.
නිමි.
Comments
Post a Comment