මරණයේ නවාතැන
" අෂේන් මට අම්මව බලන්න යන්න ඕනා අනේ අපි දැන්ම යමුකෝ "
රැකියාවට නිමවා නිවසට පැමිණි විගස අෂේන්ට තම බිරිඳ ගේ ඉල්ලීම පුදුමයක් ගෙන දුන්නේය ඔහු ප්‍රශ්නාර්ත මුසු බැල්මකින් ඇය දෙස බැලුවේය.
" අපි ගිය සතියෙත් එහෙ ගියානේ අචිනි ඇයි මේ හදිස්සියේම එහෙ යන්න හදන්නේ "?
" අනේ මන්ද මට උදේ ඔයා වැඩට ගිය වෙලේ ඉදන් හිතට හරි නෑ අම්මව බලන්න යන්නම හිතෙනව අනේ හාද හා කියන්නකෝ"
" මේ රෑ කොහොමද යන්නේ හෙට මට නිවාඩු හෙට යමු ඊටත් අපි එහෙට යනකොට පාන්දර එක දෙක වත් වෙයිනේ "
" ආයේ මම ඔයාට කරදර කරන්නෙ නෑ ප්ලීස් අෂේන් අනේ යමුකෝ "
" හරි හරි ඕකට අඩන්න ඕනෙද ඉන්න මම වොෂ් එකක් දාගන්න ඊට පස්සෙ යමු හොඳද. ."
කඳුලු පිරි දෙනෙතින් ඇවිටිලි කරනා ඇය දෙස මද සිනාවකින් බැලූ අෂේන් ඇගේ හිස පිරිමදිමින් එසේ කීවේය.
අචිනිගේ නිවස පිහිටියේ බණ්ඩාරවෙල නගරයට ආසන්නවය අචිනි සහ අෂේන් විවාහ වී පදිංචිව සිටියේ මාකඳුර ප්රදේශයේය ඔවුන් දෙදෙනා රාත්‍රී දහයට පමණ බණ්ඩාරවෙල බලා යාමට ඔවුන්ගේ මෝටර් රථයෙන් පිටත් විය.
කුරුණෑගලට පාරේ කිරලබොක්ක ගමට ආසන්න වන විට ඔවුන්ට තව දුරටත් ගමන යාමට නොහැකි බාදකයක් ඇති වී තිබුණේ පාර අයිනේ තිබූ විශාල මාර ගසක් පාර හරහා ඇද වැටී තිබූ නිසයි.
" ඔය කරල තියෙන්නේ දැන් කොහොමද යන්නේ පාරේ එක වාහනයක්වත් ඇත්තෙත් නෑ"
" අෂේන් අර අතන ගෙදර කවුද එලියට වෙලා ඉන්නව එයාගෙන් අහල බලන්න වෙන පාරක් තියෙනවද කියල"
අචිනි පෙන්වූ නිවස වෙත ගිය අෂේන් නිවස ඉදිරිපිට සිටි එම පුද්ගලායට ඇමතුවේය.
" අයියා අපිට කුරුණෑගලට යන්න ඕනේ මේ පාර හරහ ගහක් කඩා වැටිලනේ වෙන පාරක් දන්නෙ නැද්ද"?
" මේ දැන් ටිකකට කලින් ඕක කඩා වැටුනේ හොද වෙලාවට කිසිම වාහනයක් පාරේ ආවෙ නැත්තෙ ආවනම් එහෙම ආප්ප හැන්දෙන් ගලවන්න වෙන්නෙ ...පාරක් ආපහු ගිරිඋල්ල පැත්තට යද්දි බුදු මැදුරක් හම්බ වෙයි එතනින් වමට දාල කිලෝ මීටරයක් විතර ගියාම තුංමං හන්දියක් හම්බ වෙයි එතන තියෙන්නෙ ලොකු පාරකුයි පොඩි පාරකුයි ලොකු පාරේ යන්න ආයේ කුරුණෑගල මීගමුව පාරට වැටෙන්නෙ "
" හරි හරි අයියේ බොහොම ස්තූතියි යන්නම් "
ඔහු ගෙන් සමුගත් ඔවුන් දෙදෙනා එම පුද්ගලයා පැවසූ පාරේ ගමන් කර තුංමං හංදිය වෙත පැමිණියත් එම ස්ථානයේ උභතෝකෝටික ප්‍රශ්නයක් පැන නැගී තිබිණ.
" අර මිනිහ කිව්වේ පාර වල් දෙකයි කියල මෙතන පාරවල් තුනක් තියෙනවනේ"
" ඔයා හරියටම පාර අහගත්තද අෂේන් මොකක්ද ඒ මිනිහ කිව්වේ"?
"ඔව් ඔව් මිනිහ කිව්වේ ලොකු පාරකුයි පොඩි පාරකුයි තියෙනව කියල මෙතන එකම විදිහේ එකම සයිස් පාරවල් තුනක් තියෙනවනේ.."
" මම කියන්නද අපි කෙලින්ම යමු "
" ඔව් අචිනි මාත් හිතුවේ ඒක තමා යමු එහෙනන් "
පාලු මූසල ගතියක් පෙන් වූ එම මාවතේ කිලෝ මීටර් ගණනක් ගියත් ඔවුන්ට පාරේ අවසානයක් දැකිය නොහැකි වී තිබිණ එම නිසා ඔවුන් නැවත මෝටර් රථය හරවාගෙන ආපසු ඒමට පටන් ගත්තෝය හදිස්සියේම යම් දෙයක් දැක අචිනි කෑගසන්නට විය.
" ආන් අර අර..අර බලන්න අෂේන් අර කඩය මම යන කොට දැක්කෙ නෑනේ. ."
විදුලි පහන් කණුවක් යට විශාල නිවසක් සහ ඉදිරිපිට තිබූ වෙළඳසැල ඔවුන් යන විට තිබුණේ නැති බව අෂේන්ටද මතකයේ තිබුණත් අචිනි අනවශ්‍ය ලෙස කලබල වේයැයි සිතා ඔහු ඒ මොහොතේ සිතට නැගුන මුසාවක් පැවසුවේය.
" අපි වේගෙන් ගිය නිසා දකින්න නැතුව ඇති අර ඒ කඩය ඇතුලේ මනුස්සයෙක් ඉන්නව මම අහල එන්නම් මේ අපි යන්නේ හරි පාරෙද කියල නැත්නම් ආපහු ගියොත් අපරාදෙනේ "
මෝටර් රථයෙන් බසින විටම අෂේන්ගේ ගත කිළිපොලා යමින් සීතල සුළඟක් ඇදී ගියා පමණක් නොව කවුරුන් හෝ නගන වේදනාත්මක කෙඳිරිලි හඬක් ද ඇසෙන්නට විය.
සිතට දහිරිය ගෙන වෙළඳසැල වෙත ගිය අෂේන් දුටුවේ එතුල සිටි අවුරුදු අසූවක් පමණ වයසැති පුද්ගලයෙක්ය මළමිනියක් මෙන් සුදුමැලි වී සිටි ඒ වයසක පුද්ගලයා අෂේන් දෙස ඔරවා බැලුවේය
" උන්නැහේ මට කුරුණෑගලට යන්න ඕනේ මම හිතන්නේ මට පාර වැරදිලද කොහෙද මේ පාර කොහෙටද වැටෙන්නේ "
කිසිවක් නොකී මහලු මිනිසා අෂේන්ට අතින් සංඥා කලේ ඔහු පසු පස එන ලෙසය ඉන්පසු වෙළඳසැලට පිටු පස තිබුණ නිවසේ දොර විවර කර මෙසේ පවසන්නට විය
"..වරෙන් ඇතුලට වරෙන් මෙතැන ඕන තරම් ඉඩ තියෙනව හැමෝම ඉන්නව උඹත් වරෙන්.."
අෂේන් නිවසට එබී බලන විට දුටුවේ නිවස පුරා නිදා සිටින මිනිසුන් පිරිසකි ගැහැණු පිරිමි කුඩා ලමුන් වයසක අය නිවස තුල නොයෙක් ආකාරයට වැටී නිදා සිටියහ ඔවුන් දෙස වඩාත් හොඳින් බැලු විට අෂේන් දුටුවේ කෙමෙන් කෙමෙන් මස් ගැලවී ඕජස් ගලමින් ඇට සැකිලි බවට පත් වී ඔහු වෙතට සෙමින් සෙමින් පියවර නගන අයුරුයි බියට පත් අෂේන් මෝටර් රථය වෙත දිව යන්නට විය
දසත හමා ගිය කුණු ගඳ සහ අදෝනාත්ම කෙදිරිලි හඩට අෂේන්ගේ බිය දෙගුණ තෙගුන වන්නට වූවා පමණක් නොව නිවස තුල සිටි සියලු දෙනා සහ මහලු මිනිසා අෂේන් පසු පස එමින් කෝපයෙන් බෙරිහන් දෙන්නට විය.
" වරෙන් වරෙන් අපි ලඟට වරෙන් "
දිව එන අෂේන් සහ පිටු පසින් එන ඇට සැකිලි දැක බියට පත් අචිනි මර හඬ දෙමින් රථයේ දොර විවර කලාය.
" අනේ දෙයියනේ අෂේන් නගින්න නගින්න අපි ඉක්මනට යමු.."
රථයට ගොඩ වී එම ස්ථානයෙන් පලා යාමට ඔවුන් දෙදෙනා සමත් විය කිලෝ මීටර් තිහක් පමණ ගොස් එක් තැනක රථය නතර කර අෂේන් බියපත් දෑසින් අචිනි දෙස බැලුවේය.
" අ...අෂේන්..ඔයා..ඔයා දැක්ක නේද උන් මොක්කුද අනේ අපිට මොකද වුනේ කවුද ඒ අවතාරද කියන්නකෝ"
" අචිනි මම දන් නෑ මම දන් නෑ මොකුත් කතා කරන්න එපා මට ඔය වතුර එක දෙන්න මූණ ටිකක් හෝදන්න.."
මෝටර් රථයෙන් එලියට බැසීමට පවා දැක් වූ බිය නිසා රථයෙන් හිස එලියට දමා අෂේන් මූණ සෝදගත් පසු වතුර බෝතලය අචිනිට පෑවේ ඇයටද මුහුණ සෝදා ගැනීමට අවශ්‍ය වූ නිසයි.
මුහුණ සෝදා ගැනීමට හිස එලියට දාපු අචිනි ඇය ඉදිරි පිට ඇති දෙය දැකීමෙන් භීතියෙන් බෙරිහන් දුන්නාය.
" ද්..දෙයියනේ අපි ආයේ අර කඩේ ලඟට ඇවිල්ල තියෙන්නේ අර...අර ..අර නාකි මිනිහ අපි ලඟට එනව අපි යන් අපි යන්. ."
ඔවුන් දෙදෙනා කොපමණ උත්සහ කලත් එතැනින් පලා යාමට ඔවුන්ට නොහැකි වුනා පමණක් නොවේ රථය නැවත නැවත එම ස්ථානයට විත් නතර විය.
උදෑසන හිරු කිරණ පොලවට පතිත වන විට ඔවුන් දෙදෙනාට පෙර දින මාර්ගය කියා දුන් තැනැත්තාගේ නිවස දකින්නට ලැබින බියට පත් දෙදෙනා එම නිවසට යම් දෝ නොයම් දෝ සිතමින් රථය නතර කර නිවස දෙස බලා සිටියෝය.
නිවසේ සිටි පුද්ගලයා රථය දැක ඔවුන් සිටින තැනට පැමිණියේය.
" ආ මේ ඊයේ රෑ පාර අහපු අයනේ මොකද පාර හොයා ගන්න බැරි වුනාද.."?
බියපත් දෑසින් බලා සිටින දෙදෙනා දෙස බැලු පුද්ගලයාට යමක් වැටහී තිබිණ ඔහු තමාගේ බිරිඳත් කැදවා ගෙන දෙදෙනාව නිවසට එක්කරගෙන ගොස් දෙදෙනාගේ බිය තුනී කරන්නට කලේය.
රාත්‍රියේ සිදු වූ සියලු දේ අෂේන් එම පුද්ගලයාට විස්තර කල පසු ඔහු පැවසුවේ මෙවැන්නකි
" ඔය පාරෙ ගිය අයගෙන් සමහරක් අයට එතන පාරවල් තුනක් පෙනිල තියෙනව හැබැයි එතන එහෙම පාරවල් තුනක් නෑ මම අහල තියෙන විදිහට ඔය නාකි මිනිහ ඉන්න ගේ ඇතුලට ගිය කෙනෙකුට ආපහු එලියට එන්න බෑ එතනම මැරිල වැටෙනව පූරුවේ පිනකට දෙන්න බේරිල තියෙන්නේ දැන් බය නැතුව යන්න මොකද හිරු එලියේදි අඳුරු බලවේග වලට ක්‍රියාත්මක වෙන්න බෑ තාම ගහ අයින් කරලත් නෑ මම කියපු පාරෙ තමා යන්න වෙන්නෙ "
නැවත ඔවුන් දෙදෙනා එම මාර්ගයේ ගමන් කලත් නැවත රාත්‍රියේ හමු වූ කඩය හෝ පැරණි නිවස හෝ වයසක පුද්ගලයා හෝ දක්නට නොලැබිණ.
" අම්මෝ මම හිතුවේ ආයේ අර කඩේ ගෙදර හම්බ වෙයි කියල ආ: අෂේන් බලන්නකෝ මෙතන පාරවල් දෙකයි තමා තියෙන්නේ"
ඒ වන විට ඔවුන් තුංමං හන්දියට ලගා වී තිබිණ
" ඊයේ වෙච්ච දේවල් අමතක කරල දාන්න අචිනි අපි වාසනාවන්ත නිසා බේරුණා එහෙම නේද
" ඒකනම් ඇත්ත අෂේන්.."
********** නිමි *******************************
මේව කියෙව්වම රෑට බය වෙනවා .. හෙහ් හෙහ් .. අමුතු කතාවක්
ReplyDeleteබොහෝම ස්තූතිවන්ත වෙනවා කතාව බැලුවට
Deleteෂහ් මරු! දිගටම ලියමු. ඩ්රැකීගෙන් පාර අහගෙන ආවෙ! ෆලෝවර්ස් අයිකන් එකකුත් දැම්ම නම් වඩා ලේසි අපිට එන්න!
ReplyDelete